Loading...

බෝම්බ කැබලි සමග දිවි ගෙවන මිනිස්සු

මෙරට පැවති මානුෂීය මෙහෙයුමේ අමිහිරියාව උතුරු නැගෙනහිරිට වැඩි වැඩියෙන් දැනෙන විට අනෙක් කාටත් යන්තමින් හෝ එහි අත්දැකීම් දැනෙනු ඇතැයි සිතමු.අවසන් මානුෂීය මෙහෙයුමේ කටුක බව කෙසේ වුවද එහි වේදනාවන් තවමත් අඩුවක් නොවෙන්නට රිදුම් කන පිරිසක් තවමත් උතුරේ සිටින බව බොහෝ දෙනෙකු නොදන්නා කරුණකි.මනුෂීය මෙහෙයුමේදී කාලතුවක්කු, මෝටාර්,බෝම්බ හා වෙඩි උණ්ඩ වල කැබලි තවමත් ශරීරයේ තබාගෙන උතුරු පලාතේ දහසකට අධික පිරිසක් ජීවත්ව අතරම වවුනියාව සහ යාපනය දිස්ත්‍රීක්කයන්හි පුද්ගලයින් 410 දෙනෙකු ජීවත්වන බවට මේ වන විට  ප්‍රදේශයන්හි පිහිටි ස්වේච්ඡා සංවිධාන විසින් සොයාගෙන අවසන්.

වව්නියාවේ පිහිටි ස්වේච්ඡා කමිටුවක් මගින් අනාවරනය කරගත් දත්තයන්ට අනුව, දැනට වව්නියාවේ සහ යාපනය යන දිස්ත්‍රීක්කයන්ගෙන් සොයාගෙන ඇති සංඛ්‍යාවෙන් (410)  113 දෙනෙකුම පාසල් සිසුන් බවටත් අනාවරනය වී ඇත. එමෙන්ම උතුරු පළාත තුල මේ අන්දමට 500 කට ආසන්න පිරිසක් ඇති බවටත් කිළිනොච්චිය, මුලතිවු හා මන්නාරම යන පළාත්වල තොරතුරු තවමත් එම සංවිධානයන් වලට ලැබී නොමැති බවටද වාර්ථා වෙයි.

‘ශරීරය තුළ මෙම බෝම්බ කැබලි තබාගෙන ජීවත් වන මේ පිරිස රෝගීන් බවට පත්ව සිටින නිසා වහාම රජය මැදිහත්වී ඔවුන්ට ප්‍රතිකාර කළ යුතු බවට මේ රෝගීන් අදාල බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ ඔවුන්ට එවැනි සැත්කමක් කිරීමට වත්කමක් නොමැති නිසාවෙනි. උතුරේ පිහිටි රජයේ රෝහල්වල පහසුකම් නොමැති හෙයින් ඔවුන්ට බෝම්බ කැබලි ඉවත් කරගැනීම සදහා රුපියල් ලක්ෂ ගණනක් පෞද්ගලික රෝහල්වට ගෙවීමට නොහැකි නිසා අද ඔවුන් පීඩිත හා දුක්කිත ජීවිතයක් ගත කරමින් සිටිති.

‍වවුනියාවේ සාස්ත්‍රීකුලං කලම් ගම්මානයේ පදිංචි කාන්තාවක් වූ  පී.සාරිතා කියා සිටියේ මෙවැන්නකි.

‘‘මගේ එක ඇසක් පේන්නේ නැහැ ඒ මුලතිව් වල ඉන්නකොට මට මේ දේ වුනේ. මෝටාර් බෝම්බයක් කියල මම හිතනවා ඒ බෝම්බේ පත්තුවෙච්ච වෙලාවේ මම ලග හිටියා ඒ වෙලාවේ මගේ ඇසත් අහිමි වෙලා මට හොඳටම තුවාල වුනා මේ වෙනකොට අපි නැවත පදිංචියට වව්නියාවේ ඉන්නේ මට දරුවො තුන්දෙනෙක් ඉන්නවා මගේ ඇස අසලත් කකුල්වල හා බෙල්ලේත් මෝටාර් උණ්ඩ කැබලි හතක් තියෙනවා කියාල රෝහලට ගියාම දොස්තරල මට කිව්වා නමුත් ඒ බොම්බ කෑලි ඉවත් කරන්න ආණ්ඩුවේ රෝහල් වල පහසුකම් නැහැලු පෞද්ගලික රෝහලකින් තමයි ශල්‍යකර්මයක් මාර්ගයෙන් මේ බොම්බ කෑල ගන්න වෙලා තියෙන්නේ මට මගේ දරුවන්ටත් කන්න එදා වේල හොයාගන්නේ බොහොම අමාරුවෙන් පෞද්ගලික රෝහලකදී ඇස අසල ඇති  මෝටාර් කැබැල්ල ඉවත් කිරීමට රුපියල් පණස්දහසක යනවා බෙහෙත් සදහා තවත් වෙනම මුදලක් අවශ්‍ය වෙනවා ඉතිං මේ මුදල අපිට නැති නිසා මේ බොම්බ කෑලි ඇග ඇතුලෙම තියන් පුලුවන් කාලයක් ජීවත් වෙනවා “

අනතුරුව වවුනියාවේ කූමාංකුලමේදී හමුවුණු එස්.කන්නන් කියා සිටියේ,

“මගේ කකුලේ කාලතුවක්කු උණ්ඩ කැබලි 11 ක් මුලින් තිබුනා ඉන් 4 ක් ඉවත් කරගත්තා තවත් හතක් තියෙනවා ඉතිරි කැබලි හත ඉවත් කිරීමට වවුනියාව රෝහලේ පහසුකම් නොමැති නිසා වසර ගාණක් තිස්සේ මම මේ වේදනාව විඳිනවා දැන් මට ඇවිදින්නත් අපහසුයි ඇවිද්දහම බොම්බ කැබලි වලට කකුල පුදුම වේදනාවක් දැනෙන්නේ කව්රු හරි අපිට පිහිට වෙලා මේ බොම්බ කැලි ටික ඉවත් කරගන්නට උදව්වක් කරනවනම් අපිට ඒ ඇති. අපි ගෙදර ඉන්න වෙලාවේ එක වරම මේ බොම්ම උඩින් ඇවිත් පත්තු වුනේ ඉතින් ඒ බොම්බ කොයි පැත්තකින් ආවද කවුරු එල්ල කරාද කියන්න අපි දන්නේ නැහැ පත්තු වේච්ච බොම්බ පත්තු වුනා නමුත් වේදනාවන් විඳින්න වෙලා තියෙන්නේ අපිට “

මානුෂීය මෙහෙයුම අවසන් වී වසර 15ක් ගත වෙලා අද වන විට යමෙකුට අපේ රටේ එවැන්නක් තිබුනද යන්නත් අමතක වෙලා නමුත් එදා අවසන් මානුෂීය මෙහෙයුමේදී ගෙවුනු තප්පරයක් පාසා ගෙවෙන හැම මොහොතකම තම ජීවිතිය බොරාගැනීමේ සටනකට මුහුණ දුන් මේ ජනතාවගේ යුද මතකය මේ බොම්ම කෑලි තම ඇගතුල තිබෙනතාක් කල් හොල්මන් කරනු ඇත.

එවැනි මානසික පීඩනයකින් සිටින මේ ජනතාව දෙස පළමුව ඇස් කන් යොමා ඔවුන්ගේ හෙට දවසට යුද මානසිකත්වයෙන් තොරව මුහුණ දීමට අවස්ථාව උදාකරලීම කාගෙත් වගකීමක් හා යතුකමක් බව සිතිය යුත්තකි.

සටහන – රොමේෂ් මදුශංක

What is your reaction?

Loading spinner

Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *