ඉන්දියන් සාගරයෙන් වට වී ඇති ශ්‍රී ලංකා මුහුදු තීරයේ මත්ස්‍ය සම්පත වෙනුවෙන් දෙරටේ ධීවරයින් අතර ඇතිව තිබෙන මේ විරසක නිසාවෙන් අදවන විට එය දෙරටේ මිත්‍රත්වයටද බලපෑම් එල්ල වී ඇත. උතුරු මුහුදු තීරයේ මත්ස්‍ය සම්පත ලබා ගැනීමට තරම් වූ පහසුකම් උතුරේ ධීවරයින්ට නොමැතිකම නිසාම මත්ස්‍ය සම්පත එදා සිටම ඉන්දීය ධීවරයන් විසින් බලහත්කාරයෙන් හෝ ලබා ගැනීම සිදුවන්නකි. මේ නිසාම උතුරේ ධීවරයින්ගේ ධීවර කර්මාන්තයට එල්ල වී ඇත්තේ සුළුපටු බලපෑමක් නොවෙයි. දිනකට ලංකාවට අහිමි වන සහ ඉන්දියානු ධීවරයින් විසින් උතුරේ මත්ස්‍ය සම්පත අනවසරයෙන් රැගෙන යාම මෙරට ආර්ථිකයට සෘජුවම බලපාන ප්‍රධාන කරුණක් වී ඇත.
උතුරේ මත්ස්‍ය සම්පත ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් ලබා ගැනීම උදෙසා උතුරේ ධීවරයින් අවස්ථා කිහිපයකදීම බලධාරීන් දැනුවත් කළ ද මේ වන තෙක් වසර ගණනාවක් පුරාවට ම උතුරේ ධීවරයින්ට කිසිදු පහසුකමක් ලබාදීමට පියවර නොගැනීමද ගැටලුවකි.මේ නිසාම අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නා ඉන්දීය ධීවරයින් දහස් ගණන් වූ ට්‍රෝලර් මගින් තුරු මුහුද ආක්‍රමණය කරන්නේ උතුරේ ධීවරයන්ගේ මත්ස්‍ය සම්පත බලහත්කාරයෙන් රැගෙන යාම උදෙසාය.
“අන්න එකක් අන්න තවත් ගොඩක් කොහොමහරි බේරෙමු” යනුවෙන් උතුරේ ධීවරයින්ගේ මුවින් පිටන්නේ ඉන්දියානු ධීවරයින්ට බියෙනි. ඊට හේතු වී ඇත්තේ එක් ට්‍රොලර් යාත්‍රාවක ඉන්දීය ධීවරයින් 10 කට අධික ප්‍රමාණයක් සිටින බැවින් පිරිස් බලය වැඩි වීම හේතුවෙනි.
දිනෙන් දින ඔඩු දුවමින් ඉන්දු ලංකා ධීවරයින් එකිනෙකාට ගහාමරා ගන්නා වාතාවරණයකටම මෙම ධීවර ගැටලුව ඔඩු දුවා ඇතත් එය විසඳීමට තරම් නොහැකි වූ බලවේගයන් කුමක්දැයි යන්න දෙරටේම ධීවරයින්ට ඇති උභතෝකෝටික පැනයකි.මේ අතරවාරයේ නාවික හමුදාවද ඔවුන්ට හැකි අයුරින් ඉන්දියානු ධීවරයන් අත්අඩංගුවට ගැනීම සිදුකරයි. නාවික හමුදව හා වෙරළාරක්ෂක බලකාය විසින් සැලකිය යුතු අරක්ෂවක් උතුරු ධීවරයින්ට ලබාදෙන අතරවාරයේදී හොරෙන් උතුරු මුහුදේ මසුන් අල්ලන ඉන්දීය ධීවරයින් නාවික හමුදාවටද මහත් හිසරදයක් වී ඇත.
උතුරු මුහුද ආක්‍රමණය කොතෙක්ද කිවහොත් එය වර්ෂයක් පාසා වැඩි වී ඇති ආකාරයක් නාවික හමුදා දත්ත අනුව පෙනී යන ප්‍රධාන කරුණක් වී ඇත. නාවික හමුදාව පෙන්වා දී ඇති ආකාරයට 2020 වසරේ සිට මේ දක්වා ඉන්දීය ධීවරයින් උතුරු මුහුදට නීති විරෝධීව ඇතුල්වීම ගත් කළ ක්‍රමානුකූලව වැඩි වී ඇති ආකාරයක් පෙන්නුම් කර තිබෙනවා.
මේ අනුව නාවික හමුදා දත්තයන් අනුව ඉන්දීය ධීවරයින් උතුරු මුහුදු සීමාවට ඇතුලු වී නාවික හමුදා භාරයට පත්ව ඇත්තේ මේ ආකාරයටයි.
වර්ෂය | අත්අඩංගුවට ගත් යාත්‍රා ගණන | අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් |
2020 | 11 | 70 |
2021 | 19 | 157 |
2022 | 36 | 264 |
2023 | 35 | 240 |
2024 | 23 | 178 |
ඉන්දීය ධීවරයින් මෙරට මුහුදු තීරය ආක්‍රමණය කරන ආකාරය වැඩි වී ඇති ආකාරය ඉතා හොඳීන් අධීක්ෂණය වෙයි. එමෙන්ම හසු නොවූ ධීවර යත්‍රා කොතෙක්දැයි සිතාගත හැකි නොවන්නේද ? ඒමෙන්ම මේ වසරේ (2024) ගත වූ මාස 04 ක කාලයක් තුල අත්අඩංගුවට පත් ව සිටින ධීවරයින් පිළිබඳ අධීක්ෂණය කිරීමේදී උතුරු මුහුද ආක්‍රමණය කිරීම කොතෙක්දැයි දෙවැරක් සිතිය යුතුය.
ඉන්දීය ධීවරයින් මෙලෙස අත්අඩංගුවට පත්වෙද්දී ඉන්දියාවේ රාමේෂ්වරන්හි ධීවරයින් දහස් සංඛ්‍යාත පිරිසක් මුහුදු ගමන් නොගොස් විරෝධතවන්හි නිරත වන්නේ වහාම අත්අඩංගුවේ පසුවන ඉන්දීය ධීවරයින් නිදහස් කරන ලෙසට ශ්‍රී ලංකා රජයට බලකරමිනි.
මේ නිසාම පසුගියදා දෙරටටම බලපෑ ප්‍රධාන සිදුවීමක් වූවේ යාපනය කච්චතිව් දූපතේ වර්ෂික මංගල්‍යයි. එදා සිටම කච්චතිව් වාර්ෂික මංගල්‍ය වෙනුවෙන් වැඩි ධීවරයින් පිරසක් සහභාගී වන්නේ ඉන්දියාවෙනි. ඉන්දියාවේ සිට යාපනයට එන ඉන්දීය ධීවරයින් දින දෙකක කාලයක් මෙරට ධීවරයින් සමග කල් ගෙවන්නේ සහෝදරයින් ලෙසටය. නමුත් මෙවර ඉතිහාසයේ පළමු වතාවට ඉන්දීය කිසිදු බැතිමතෙකු නොමැතිව කච්චතිව් මංගල්‍ය පැවත්වීමට සිදුවිය. ඊට ප්‍රධාන හේතුව වූවේ ඉන්දීය ධීවරයින්ගේ විරෝධය වේ . මේ අතරවාරයේ කච්චතිව් දූපත නැවත ඉන්දියාවට ම පවරා ගැනීමටද ඉන්දීය රජය උත්සහ දරමින් සිටින්නේ ධීවර ගැටලුවේ ඇති ප්‍රභලත්වය නිසාවෙනි. යාපනයේ කච්චතීව් මංගල්ලයට මේ ඉන්දු ලංකා ධීවරයින් සියලු දෙනා සහෝදරයින් මෙන් එකට එක්ව දේව මෙහෙයන්ට සහභාගී වී සමගියෙන් සමුගත් ධීවරයින් අද එකිනෙකාට ගහමරා ගන්නේ මසුන් නිසාමදැයි යන්න ගැටලුවක්ව පවතියි.
ගෙවී ගිය 2023 වසරේ යාපනය මරදන්කේනි මුහුදු තීරයෙන් මුහුදු ගිය ධීවරයින් දෙදෙනකුගේ මළ සිරුරු දින 5 කට පසුව මුහුදු වෙරලට ගොඩගැසීමත් සමග වියරු වූ යාපනයේ ධීවරයින් මුහුදු ගොස් ඉන්දීය ධීවරයින් සමග ගැටුමක් ඇති කරගන්නේ සිය ධීවරයිගේ ඝාතකයින් ඉන්දීය ධීවරයින් බව පවසමිනි. එයද එකවර සිදු වූ දෙයක් නොව ඉන්දීය ධීවරයින්ගේ අඩත්තේට්ටම් කාලාන්තරයක් තිස්සේ ඉවසාදරාගෙන බැරිම වූ අවස්ථාවේදී ය. යාපනය, පේදුරුතුඩුව, සුපර්මඩම්, කරෙයිනගර්, පලාලි, කන්කසන්තුරෙයි ආදි ප්‍රදේශ රැසක ප්‍රධාන මාර්ග වසා දමමින් ධීවර නිලධාරී කාර්යාල අවහිර කොට ධීවර යාත්‍රා සහ දැල් ආම්පන්න මාර්ග වෙතට රැගෙනවිත් විරෝධයන් පාමින් කියා සිටියේ වසර 20 ක මෙම ඉන්දු ලංකා ධීවර ගැටලුවට විසඳුම් ලබා දෙන ලෙසටය.විසඳුම් ලබා දෙන ප්‍රධනාම බලධාරියෙකු වූ ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාද උතුරේම වැසියෙකි. නමුත් අමාත්‍යවරයාද මේ විරෝධතාවන්ට ගොස් ධීවරයින් සමග සාකච්ඡා කිරීමට ගත් උත්සහන් සියල්ලකදීම ප්‍රතිඵලය වූවේ හූ හඩ පමණී.
මේ පිළිබඳව කරුණු අවබෝධයක් සඳහා ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ උතුරු නැගෙනහිර ප්‍රධාන සම්බන්ධිකාරක ඇන්ටන් ජේසුදාසන් මහතාගෙන් විමසීමේදී ඒ මහතා පවසා සිටියේ,
‘‘ අපි යාපනයේ ධීවර විරෝධතාවන් පැවත්වූ ස්ථාන වෙතට යමින් ඔවුන්ගේ ගැටළු සාකච්ඡා කලා. ඇත්තටම අවුරුදු 20ක් පුරා මේ ප්‍රශ්නය උඩු දුවනවා . නමුත් කිසිම ආණ්ඩුවක් මේ දක්වා මේ ධීවර ගැටළුව විසඳන්න කිසිදු ස්ථිරසාර විසඳුමක් ගත්තෙ නැහැ. හැමදාම කළේ මඟහැර යෑම විතරයි.
ඒකෙන් අපට පෙනී යන එකම කාරණාව වන්නේ ආණ්ඩුවට ඉන්දියාවත් එක්ක තියෙන යම් යම් ගනුදෙනු ආරක්ෂා කරගන්න ධීවර ගැටලුව නොදැක්කා සේ සිටිමින් උතුරේ ධීවරයින් බිල්ලට දෙනව යන සැකයයි. මොකද දවසකට උතුරු මුහුදට විතරක් ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා සිය දහස් ගණනක් එනවා. ඉන් බොහොම සුලු ප්‍රමාණයක් තමයි නාවික හමුදාව අත්අඩංගුවට ගන්න පුලුවන් වෙන්නේ ඒ ගැනත් නාවික හමුදාවට ප්‍රශංසා කරන්න ඕන. ඒකෙන් ඉන්දීය ධීවර යාත්‍රා උතුරු මුහුදට එන එක කවදාවත් නතර වෙන්නේ නම් නැහැ. නමුත් මේ ගැටළුවට පිළිගත හැකි විසඳුමක් තියෙනවා.
එකක් තමයි 2017 අංක 11 දරණ ට්‍රෝලර් යාත්‍රා පිළිබඳ පනත ඒකෙන් කියල තියනවා කොහොමද ක්‍රියාත්මක විය යුත්තේ ,දඩුවම් කරන්නේ කොහොමද, අනවසර ආක්‍රමණයන් නතර කරන්නේ කොහොමද කියලා. තවත් පනතක් තියෙනවා සංශෝධිත පනතක් 2018 අංක 1 කියලා. ඒකෙන් කියලා තියෙනවා විදේශීය යාත්‍රා මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුල් වීමේ දී සිදු කළ යුතු, ගත යුතු නීතිමය පියවර කුමක්ද කියලා මේ පනත් දෙකම ආණ්ඩුව විසින් ක්‍රියාත්මක නොකිරීම තමයි අපට තියෙන ප්‍රධානම ගැටළුව.
මොකද නාවික හමුදාවෙන් ඇහුවම අපිට අහන්න ලැබෙන්නේ අපට ඒ තරම් ඉන්දීය ධීවරයන් හෝ එහෙමත් නැත්නම් ධීවර යාත්‍රා හෝ අත්අඩංගුවට ගන්න ඒ හැටි බලයක් නෑ කියන වචනයි. ඉතින් ඇයි නාවික හමුදාවට මේ බලය නොදෙන්නේ? ඒකෙන් පේනවනෙ ආණ්ඩුවට ඉන්දියාවත් එක්ක ඒ තරම් ආරක්ෂා කරගන්න වෙනත් ගනුදෙනු තියෙනවා කියලා.
අපි කියන්නේ නාවික හමුදාවට අවශ්‍ය බලය දෙන්න. එතකොට තවත් පැත්තකින් ඉන්දියාවේ ධීවරයින්ට කියන්න බැහැනේ අපි දන්නේ නැතුව ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුළු වුණේ නොදැනුවත්කම නිසා ආවේ. මේ වගේ දේවල් කියන්න බැහැ. අපේ මුහුදේ එහෙමත් නැත්නම් අන්තර්ජාතික මුහුදු සීමාව නාවික හමුදාව නිසියාකාරව එයාලගේ රාජකාරි කිරීමට බලය දී තිබුණා නම් මෙහෙම ප්‍රශ්නයක් නැහැ.
පැහැදිලිවම අපට ධීවර අමාත්‍යවරයා විශ්වාස කරන්න බැහැ. මොකද ඒකට හේතු රැසක්ම තියෙනවා. මේ ගැටලුවේ දී වැඩිම වගකීමක් ඇති පුද්ගලයා තමයි ධීවර අමාත්‍යවරයා කියන්නේ. නමුත් ඔහු එදා ඉදලම මේ ගැටලුව මග හැරපු එක තමයි කරේ. අපි ඉල්ලීම් දෙනවා පෙත්සම් භාර දෙනවා ඒ හැමදෙයක්ම අමාත්‍යවරයාගේ මේසේ උඩට විතරක් සීමාවෙනවා.
ඇමති උතුරට ඇවිල්ල කියන්නේ වෙන එකක් දකුණට ගිහින් කියන්නේ වෙන එකක්.
මේ වෙනකොට උතුරු මුහුදේ ඇතිවෙලා තියෙන ඇත්තම තත්වය භයානකයි. මේක තමයි ඇත්ත. මොකද ඉන්දීය ධීවරයෝ සහ ලංකාවේ ධීවරයන් විශේෂයෙන්ම උතුරේ ධීවරයන් ඉන්නේ එකිනෙකාට ත්‍රස්තවාදීන් දකින ස්වරූපයකටයි. ඒක එකපාරටම ඉබේම ඇති වුණු දෙයක් නෙමෙයි. කාලාන්තරයක් තිස්සේ ඉන්දීය ධීවරයන්ට ලංකාවේ ධීවරයින්ටත් බලපාපු ගැටලු රැසක් එක්ක. මේ ගැටලු වලට කිසිම විසඳුමක් නොලැබීමත් සමග ඇති වෙලා තියෙන තත්ත්වයකට තමයි මේ මුහුණපාලා තියෙන්නේ. දැන් මේ ධීවරයෝ මාලු අල්ලනවට වැඩිය රටවල් දෙකේ ධීවර යාත්‍රා කොහෙද තියෙන්නෙ කියලා තමයි හොයන්නේ. මොකද ඒ පහර දෙන්න.
නමුත් මෙතනදි අපේ ධීවරයින්ගේ යාත්‍රා බොහොම පොඩියි. නමුත් ඉන්දීය ධීවරයන්ට තියෙන්නේ ට්‍රෝලර් යාත්‍රා .එක යාත්‍රාවක ඉන්නවා 10 කට වැඩිය. ඔවුන් පහසුවෙන් අපේ ධීවරයන්ගේ ධීවර ආම්පන්න වගේම යාත්‍රා වලට හානි කරලා ධීවරයින්ටත් පහර දීලා මාළුත් අල්ලගෙන තමයි ආපසු යන්නේ.
මේ ධීවර ගැටලුවේදී දේශපාලනය කොතෙක් දුරට ක්‍රියාත්මක වෙනවද කියන්න අපි දන්නේ නැහැ. මොකද මේ ධීවරයෝ සියලු දෙනාම දුප්පත් ජනතාවක්. ඉන්දියාවෙත් එහෙමයි. අපේ රටෙත් එහෙමයි. එයාල කරන්නේ දවසේ රැකියාව. මේ ධීවර යාත්‍රා වල ට්‍රෝලර් යාත්‍රාවල අයිතිකාරයෝ වෙන වෙනම පිරිසක්. ඉතින් මේ රටවල් දෙකේ නායකයෝ හෝ කිසියම් බලධාරීන් පිරිසක් රටවල් දෙකේ ධීවර ගැටලුවක් ඇති කිරීමේ ප්‍රයත්නයක සිටිනවාද කියන සැක සහිත ප්‍රශ්නයක් අපට තියෙනවා.
නැතිනම් රටවල් දෙකටම හරිම පහසුයි තමන්ගෙ ධීවර ප්‍රජාවට නීති දාන්න. ඉන්දියාවේ මධ්‍යම රජයට. තමිල්නාඩුවටත් පුළුවන් සියලු ධීවරයන්ට රටේ තියෙන මුහුදු සීමාව ඉක්මවලා වෙනත් සීමාවකට යනවානම්, අපි වගකියන්නේ නැහැ කියලා නීතියක් ගෙන්න ” යනුවෙන් .
යාපනය උතුරු පළාත් ධීවර එකමුතුවේ සභාපති එන්.වී සුබ්‍රමණියම් මහතාගෙන් මෙම ධීවර ගැටලුව පිළිබඳව විමසීමේදී පවසා සිටියේ,
‘‘යුද්ධේ කාලේ වගේම යුද්ධයට පෙර මේ ඉන්දීය ධීවර ගැටලුව තිබුණා. නමුත් යුද්ධය ඉවරවෙලා දැන් අවුරුදු 14 කට වැඩියි. මේ වෙනතුරුත් මේ ආණ්ඩුව හෝ කිසිම ආණ්ඩුවක් මේ ධීවර ගැටලුවට හරිහැටි විසඳුමක් දෙන්න සූදානම් වෙලා නැහැ.ඉන්දීය ධීවරයින්ට එරෙහිව උතුරේ ධීවරයින් ගන්නා පියවරවත් ආණ්ඩුවෙන් ගන්නැහැ. උතුරු මුහුදට එන දහස් ගාණක් ඉන්දීය ධීවර යාත්‍රාවලින් නාවික හමුදාව අල්ලන්නේ දෙක තුනයි. අපි ඒක නවත්තන්න ගියහමත් අපිටම තමයි බාලිදය වැටෙන්නේ. නමුත් මෙතන ධීවරයෝ මැරිලා ඉන්නවා, ධීවර පවුල් අනාථ වෙලා ඉන්නාවා, රුපියල් කෝටි ගාණක ධීවර දැල් ආම්පන්න විනාශ වෙලා ධීවර රැකියාව කරගන්න විදහක් නැතිව ඒ ධීවරයින් පාරට වැටිල ඉන්නවා. ඒ අයට වන්දියක් ආධාරයක් කිසිම දෙයක් නැහැ. ධීවර ඇමති නින්දේ. ආණ්ඩුවට උත්තරයක් නැහැ. මේ ගැටලුවවට විසඳුමක් දෙන්න නාවික හමුදාවට බලයක් නැත්නම් ධීවර ඇමති මඟහරිනවනම් සහ ආණ්ඩුවට උවමනාවක් නැත්නම් මේක ඇතුලේ කිසියම් නොදන්නා වූ ගනුදෙනුවක් ක්‍රියාත්මක වෙනවා කියල තමයි අපිට හිතෙන්නේ” යනුවෙනි .
ධීවර සමිති සාමාජිකයෙකු වන ජේ.රාජන් කියා සිටියේ,
‘‘ අපේ පවුල්වලට අපිට මොනව වුනත් මේ ආණ්ඩුවලට කිසිම ගාණක් නැහැ. ඒ අය ඇහැක් ඇරල බලන්නැහැ. මොකද ඒ අයට මේ ධීවරයන්ට වැඩිය වටින දේවල් ඉන්දියාවත් එක්ක විසඳගන්න තියන නිසා වෙන්නැති. නමුත් අපි මේ සටන අත්හරින්නේත් නැහැ. මොකද මේ මුහුදු සීමාවත් ඉන්දියාවටම දුන්නොත් මොනවා නොවෙයිද කියල කියන්න බැහැ මේ යන විදහට. මේකට මොකක් හරි විධිමත් විසඳුමක් තියෙන්න ඕන.
මෙච්චර දුකක් මේ ධීවර ජනතාවට විඳින්න වෙලා තියෙන අවස්තාවක ඇහැක් ඇරල බලන්න පාලකයෙක් නැත්නම් මොකද්ද රටේ තත්වය. ඔය කියන නීතිය අපට අපේ නිදහසේ මාලුවෙක් අල්ලගන්න පරිසරය හදන්න නේද තියෙන්නේ . එකෙන් රටටත් ලොකු ආර්ථික වාසියක් නේද අපි දෙන්නේ, එහෙම නැතුව රටේ මත්ස්‍ය සම්පත් රුපියල් මිලියන, බිලයන ගණනින් වෙනත් රටකින් කොල්ලකාගෙන යන එකට රටට පාලකයින්ට වාසියක් ලැබෙනවනම් අපි මොනව කරන්නද කියල තමයි අහන්න තියෙන්නේ. නමුත් අපි අපේ සටන මැරෙනකම් අරන් යනවා ඒ අපේ දරු පවුල් වෙනුවෙන් හරි” යනුවෙනි.
ධීවරයින් , ධීවර සමිති නායකයින් එලෙස පවසද්දි ඉන්දු ලංකා ධීවර ගැටලුවේ සැබෑව පිළිබඳව යම් කුකුසකට හේතු වී ඇති බවනම් පෙනී යයි. එය පහල මට්ටමින්ද රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින්ද යන්න පිළිබඳව ඇත්තේ ගැටලුවකි. නමුත් රටට සම්පතක් වූ ධීවර කර්මාන්තය, ධීවරයා සැමදා අසරණ නොකර වටිනාකමක් ලබාදෙන්නෙනම් සියල්ලන්ට වටිනාකමක් ලැබේවි .
සටහන – රොමේෂ් මදුෂංක
Leave a Reply