Loading...

අම්මෙක් තාත්තෙක් නැති වව්නියාවේ ධීවර කාර්යාලය

මෙරට ජනතාවගේ සුභ සිද්ධිය සදහා යැයි පවසමින් සිදු කරන සංවර්ධන ක්‍රියාවන් සදහා යොදවන්නේ මුදල්ය.එසේ වැය කරන මුදල් දේශීයව හෝ විදේශීයව හෝ ලැබුණත් වැය කළ යුත්තේ පලදායී කටයුත්තක් සදහාමය. එමෙන්ම විදේශීය ආධාර මත අප රට තුළ සිදු කරන කටයුතු සම්බන්ධයෙන් රජයේ ප්‍රධානතම වගකිව යුතු ආයතන “නොදනී” යනුයෙන් පැවසුවහොත් එයද පුදුමයට කරුණක් නොවන්නේද?

මේ ඒ ආකායට විදේශීය ආධාර ඇතිව මෙරට රාජ්‍ය නිලධාරීන් නොදැන සිදු කර ඇති ඉදිකිරීමක් සම්බන්ධයෙන් වූ කථාවකි.

A 9 මාර්ගයේ වව්නියාව නගරයට කිලෝ මීටර් 07 ක් පමණ දුරකින් පිහිටි ඉරට්ටපෙරියකුම නම් ප්‍රදේශයේ “වව්නියාව දිස්ත්‍රික් ග්‍රාමීය ධීවර සංවිධාන කාර්යාලයක්” සහිත ගොඩනැගිලි සංකීර්ණයක් ඉදිකර ඇත.එම ගොඩනැගිලි සංකීර්ණයට මත්ස්‍ය අලවි සැළක්ද එක් කර ඇත්තේ සියළුම පහසුකම් වලින් සමන්විතවය.ජලය සහ විදුලිය පහසුකම්ද ලබා දී ඇත්තේ එම ස්ථානයේ ව්‍යාපාරික කටයුතු කරන අයට මෙන්ම පාරිභෝගිකයාගේද ප්‍රයෝජනයට වන්නට ඇත.නමුත් අවාසනාවකට මෙම ගොඩනැගිලි සංකීර්ණය කිසිදු ප්‍රයෝජනයක් නොගෙන මේ වන විට වල් බිහි වෙමින් විනාශ වන්නට ඉඩ හැර ඇති ආකාරයක් දක්නට ඇත.

සියළුම ඉදිකිරීම් අවසන් කර ඇති නමුත් එම ගොඩනැගිලි සංකීර්ණය මෙතෙක් විවෘත කිරීමක් හෝ සිදු කර නොමැති බවට අනුමාන කළ හැක.මන්ද කිසියම් විවෘත කිරීමක් කරන්නේ නම් රටේ නැති අයගේ නාම ලේඛණයක් සහිත සිහිවටන පුවරුවක් සවි කිරීම අපේ රටේ අනිවාර්යෙන්ම සිදු වන බැවිනි.නමුත් එවැනි සිහිවනට පුවරුවක් මෙම ගොඩනැගිළි සංකීර්ණය තුළ දක්නට නැත.

අම්මෙක් – අප්පෙක් නොමැතිවම බිහිවූ දරුවෙකු බදු වූ මෙම “වව්නියාව දිස්ත්‍රික් ග්‍රාමීය ධීවර සංවිධාන කාර්යාලය” සහිත ගොඩනැගිළි සංකීර්ණය කාගේ කව්ද යන්න මෙම ලියුම්කරු තොරතුරු දැන ගැනීමේ පනතට අනුව වව්නියාව දිසා ලේකම්වරයාගෙන් විමසා සිටියේය.2024 අප්‍රියල් මස 05 වැනිදා යොමු කරන ලද එම අයදුම්පතට 2024 අප්‍රියල් මස 08 වැනිදා පිළිතුරු පතක් ලැබී ඇත.වව්නියාව දිසා ලේකම් කාර්යාලයේ තොරතුරු නිලධාරී සහ අතිරේක දිසාපති ටී.තිරේෂ්කුමාර් මහතා විසින් අංක GA/VA/EB/04/RTI/287 යටතේ එවා ඇති කුවිතාන්සියට අනුව දින 14 ක් තුළ ඉදිරි පියවර දැණුම් දීම සිදු කිරීමට තිබුණි.මේ අතර,උක්ත අංකයෙන්ම ඉහත තොරතුරු නිලධාරියා විසින්ම 2024 අප්‍රියල් මස 08 වැනිදා නැවත ලිපි දෙකක් මෙම ලියුම්කරුට එවා තිබුණි.ඉන් එක් ලිපියක සදහන් කර ඇත්තේ ඉල්ලා ඇති තොරතුරු ලබා දීමට තවත් කාලයක් අවශ්‍යය වන බවය.ඒ සමග ලැබී තිබූ අනෙක් ලිපියේ දක්වා තිබුනේ “තොරතුරු දැන ගැනීමේ පනතේ 5 වන වගන්තියට” අනුව ඉල්ලා ඇති තොරතුරු ලබා දිය නොහැකි බවය.

නමුත් “තොරතුරු දැන ගැනීමේ පනතේ 5 වන වගන්තියට” අනුව ඉල්ලුම් පත් ප්‍රතික්ෂේප කළ හැකි අවස්ථා කීපයක් සදහන් කර ඇත.ඒ අනුව ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන්නේ නම්,අන්තර් ජාතිකව සිදු කරන ලද ගිවිසුම් වල රහසිගත තත්ත්වය ආරක්ෂා කිරීම සදහා,එවැනි ගිවිසුම් හෝ බැදීම් සම්බන්ධ තොරතුරු ලබා දීමෙන් අන්තර් ජාතික සම්බන්ධතා වලට අගතිකාමී තත්ත්වයක් ඇති විය හැකි බවට අනුමාන කරන්නේ නම් තොරතුරු ලබා දීම ප්‍රතික්ෂේප කළ හැක.

නමුත් පුදුමට කරුණ වන්නේ වව්නියාවේ ඉදිකර ඇති දිස්ත්‍රික් ග්‍රාමීය මිරිදිය ධීවර සංවිධාන කාර්යාලයක් සහිත ගොඩනැගිල්ලි සංකීර්ණයක තොරතුරු ලබා දීම ප්‍රතික්ෂේප කිරීමට පනතේ 5 වන වගන්තිය යොදා ගැනීමය.

ඒ කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදාල තොරතුරු නිලධාරියාගෙන් දුරකතනයෙන් විමසීමට මෙම ලියුම්කරු කටයුතු කරන ලදි.ඒ අනුව 2024 අප්‍රියල් මස 29 දාතමින් ඉහත සදහන් කර ඇති තොරතුරු නිලධාරියා විසින්ම මෙම ලියුම්කරුට තොරතුරු ලබා දීමක් සිදු කර ඇත.

ලැබී ඇති එම ලිපියට අනුව මෙම ගොඩනැගිලි සංකීර්ණය ඉදි කර ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසිනි. සංස්කෘතික සංවිධාන විසින් ධීවරයින් ශක්තිමත් කිරීම,බලමුළු ගැන්වීම,සංවිධානය කිරීම,ස්වයංපෝෂිත කරවීම සහ සංස්කෘතික කටයුතු දියත් කිරීම ගොඩනැගිළි සංකීර්ණය ඉදිකිරීමෙන්  අපේක්ෂා කර ඇත. මෙම ගොඩනැගිළි සංකීර්ණය හේතුවෙන් සෘජුව ධීවරයින් 594 දෙනෙකුටද, වක්‍රව සාමාජිකයින් 300 ක් දෙනාටද ප්‍රතිලාභ හිමිවිය හැකි බවට වව්නියාව දිසා ලේකම් කාර්යාලයේ තොරතුරු නිලධාරියා විසින් එවා ඇති ලිපියේ සදහන් වේ.

නමුත් පුදුමයට කරුණ වන්නේ එවන් තොරතුරු දන්නා දිසා ලේකම් කාර්යාලයේ තොරතුරු නිලධාරියා මෙම ගොඩනැගිළි සංකීර්ණය ඉදිකිරීම සදහා වැය කර ඇති මුදල් ප්‍රමාණය නොදැන සිටීමය.මේ වන විට ගොඩනැගිලි සංකීර්ණය අතහැර දමා තිබුනත් අවශ්‍ය අවස්ථාවේදී ප්‍රයෝජනයට ගැනීම අරමුණ බවද එම ලිපියේ සදහන් කර ඇත.

දිසා ලේකම් කාර්යාලයේ තොරතුරු නිලධාරියාට අනුව මෙම ගොඩනැගිළි සංකීර්ණය හේතුවෙන් අඩුම තරමින් ධීවරයින් 900 කට ආසන්න පිරිසකට කිසියම් වූ සේවාවක් සිදු වනවා ඇත.නමුත් මෙම ගොඩනැගිළි සංකීර්ණය ඉදිකර ඇති ප්‍රදේශයේ පිහිටි ඉරට්ටපෙරියකුලම වැවේ ධීවර රැකියාව කරනු ලබන්නේ 10 දෙනෙකුටත් අඩු ධීවරයින් පිරිසක් බව මෙම ලියුම්කරු විසින් කරන ලද සොයා බැලීමේදී අනාවරණය විය.

තව දුරටත් කරුණු සොයා බැලීම සදහා ජල ජීවී වගා සංවර්ධන අධිකාරියේ උතුරු පළාත් බාර සහකාර අධ්‍යක්ෂක වයි.නිශාන්තම් මහතාවද මෙම ලියුම්කරු සම්බන්ධ කර ගත්තේය.සහකාර අධ්‍යක්ෂකවරයාට අනුව මෙම ගොඩනැගිළි සංකීර්ණය ඉදි කර ඇත්තේ වව්නියාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට (රජයට) අයත් භූමියකය.එම ඉඩමේ පැවරීම ප්‍රාදේශීය ලේකම්වරයා විසින් මෙතෙක් සිදු කර නැත.

රජයට අයත් ගොඩනැගිල්ලකය රාජ්‍ය නොවන විදේශීය සංවිධානයක් විසින් ගොඩනැගිලි සංකීර්ණයක් ඉදිකරන තුළ වගකිවයුතු නිලධාරීන් “බකං නිලාගෙන” සිට ඇත.ඉඩම පැවරීමක් නීත්‍යාණුකූලව සිදු කරන තුරු වල් වදිමින් විනාශ වන ගොඩනැගිලි සංකීර්ණය පිරිසිදු කිරීමට කිසිදු පාර්ශවයක් ඉදිරිපත් නොවීම පුදුමයට කරුණක් නොවන්නේය.

එමෙන්ම ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ උතුරු පළාත් සහකාර අධ්‍යක්ෂකවරයාට අනුව මෙම ගොඩනැගිළි සංකීර්ණය තුළ කාර්යාලයක් සහ මිරිදිය මාළු අලවි සැළක් පමණක් පවත්වා ගෙන යා හැක.එසේත් නොමැති නම් වෙනත් සුදුසු කටයුත්තක් සදහා පැවරීමක් කළ හැක.නමුත් මේ සියල්ල කරන්නට පෙර ගොඩනැගිළි සංකීර්ණය සහිත ඉඩම වහා නිරවුල් විය යුතුව ඇත.එසේ නොවන තාක් කල් ඉරට්ටපෙරියකුලමේ පිහිටි ග්‍රාමීය මිරිදිය ධීවර සංවිධාන කාර්යාලය සහිත ගොඩනැගිල්ල වල් වදිනවා ඇත.සියල්ල නිරවුල් වූ දිනය වන විට මෙම සංකීර්ණය ප්‍රයෝජනයට ගැනීමට නම් එය ඉදි කිරීම සදහා කරන ලද වියදම වඩා වියදමක් කරන්නට සිදු වුවහොත් එයද පුදුමයක් නොවණු ඇත.

ඒ කෙසේ වෙතත් වැඩි දිනක් යන්නට පෙර මෙම ගොඩනැගිළි සංකීර්ණය සහ භූමිය තුළ මත්ස්‍යයින් වෙනුවට වන සතුන් නම් නැරඹීමට හැකියාව ලැබෙනවා ඇත.

සටහන – ජූඩ් සමන්ත


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *