Loading...

තම භුමිය තමන්ටම තෑග්ගක් වුනු මිනිස්සු

ඉකුත් 2009 වසර වන තෙක් මෙරට පැවැති සිවිල් යුද්ධය පිළිබද ඔබ අප කවුරුත් දන්නා කරුණක් එම යුද්ධය 2009 වසරේ අවසන් වීමත් සමග පශ්චාත් යුධ සමයේ විවිධ ගැටළු වලට ශ්‍රී ලංකාවට මුහුණ පාන්නට සිදු වුනා. ඒ අතරින් බිම්බෝම්ම ගැටලුව හා ඉඩම් ගැටලුවට හිමි වෙන්නේ ප්‍රධාන තැනක්, මෙහිදී ඉඩම් ගැටලුව කියන්නේ ආරක්ෂක කටයුතු හා යුධමය කටයුතු වලට පවරා ගන්නා ලද සිවිල් ජනතාවට අයත් ඉඩම් යුද්ධයෙන් පසුව යලිත් එම ජනතාව ඉල්ලා සිටීම , ඒ අනුව සිවිල් යුද්ධය පැවති කලයේ බොහෝ ජනතාව තම ඉඩ කඩම්, නිවාස හා දේපල අතහැරලා ජීවිතය රැකගෙන පලා ගියා. ඒ අනුව ඔවුන් අවතැන් කදවුරු වලට තමගේ ඥාතින් ලගට වගේම විදේශ රටවලත් පලා ගියා. යුද්ධය අවසන් උනාට පස්සේ මේ ජනතාව යලිත් තම ඉඩකඩම් ගේදොර හොයාගෙන උපන් බිමට එන්න පටන් ගත්තත් එක්ක මේ අධි ආරක්‍ෂිත කලාප වලට අත්පත් කරගත් ඉඩම් පිළිබද පසුගිය දශකයේ වැඩි කතා බහක් ඇති වුනා. 

මේ ආකාරයට ආරක්ෂක හේතුන් මත ඉඩම් අත්පත් කරගැනීම ආරම්භ වන්නේ 1983 – 2009 යන කාලසීමාව තුල ය . මේ කාලය තුල අධි ආරක්‍ෂිත පිහිටුවීම පුළුල් කිරීම වගේ කටයුතු සිදු කෙරුණු අතර මෙම ඉඩම් වලට යාපනය අර්ධද්පයේ සිවිල් ජනතාවට ඇතුළු වීමට අවස්තාව ද අහිමි විය . යුද්ධයෙන් පසු 2010 වසරේදී වලිකාමම් ප්‍රදේශයේ ආරක්ෂක කටයුතු වලට භාවිතා කල ඉඩම් කොටස් වශයෙන් නිදහස් කිරීමට එවකට රජය නිල වශයෙන් කටයතු කර තිබුණු අතර එම කටයුතු මන්දග්මිව සිදු වූ බව යි ජනතාව ප්‍රකාශ කලේ.  යුද්ධය අවසන් වීමත් සමඟ 2009 මැයි මාසයේ සිට 2018 දෙසැම්බර් 31 දක්වා කාලය තුළ උතුරු සහ නැඟෙනහිර ප්‍රදේශයන්හි ආරක්‍ෂක හමුදාව විසින් භාවිත කළ සිවිල් වැසියන්ට අයත්  ඉඩම් අක්කර 23773.62 ක ප්‍රමාණයක් නීත්‍යානුකූල හිමිකරුවන් වෙත ලබාදීම සඳහා නිදහස් කරන ලද බව යුද හමුදාව පවසයි. කෙසේ වෙතත් ආරක්ෂක හමුදා විසින් යුද සමයේ අත්පත් කරගන්නා ලද උතුර නැගෙනහිර සාමාන්‍ය වැසියන්ට අයත් ඉඩම් ක්‍රමයෙන් යළි භාර දෙමින් සිටින අතරවාරයේ, 2016 දී යාපනයේ කයිට්ස් ප්‍රදේශයේ ඉඩම් යළි අත්පත් කරගැනීමට සැරසෙන බවට ආරක්ෂක හමුදාවලට චෝදනා එල්ල විය. සිය පාරම්පරික ඉඩම්වල පදිංචිවීමට දරන උත්සාහයට බාධා නොකරන මෙන් අධිකරණ නියෝගයක් පවා තිබියදී යළිත් වරක් තමන්ට බාධා කරන බවට පානම ප්‍රදේශවාසීහු ගුවන් හමුදාවට චෝදනා කළේය. නමුත් එම අවස්ථාවේ දී ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කල කරුණාසේන හෙට්ටිආරච්චි අවධාරණය කලේ, “කලින් පටන් ගත්ත අත්පත් කරගැනීමේ කටයුතු දිගටම කරගෙන යනවා. අලුතෙන් අත්පත් කරගැනීමක් කරන්නේ නෑ” යනුවෙනි .

2016 දී විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යංශය විසින් යාපනය නල්ලූර් කෝවිල අසල ආරම්භ කළ දින තුනක ජංගම සේවාවට සහභාගී වූ මංගල සමරවීර එවකට විදේශ අමාත්‍යවරයා ලෙස ආරක්ෂක අමාත්යංශය සමග සාකච්ජා කොට උතුරේ ජනතාවට සිය ඉඩම් කඩිනමින් නැවත ලබා දීමට කටයුතු කරන පවා පැවසීය .

එම වසරේම (2016) ලංකාවට පැමිණි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බැන් කි මූන්ද්ධයෙන් අවතැන් වූවන්ට යළි සිය නිජබිම් කරා ආපසු ඒමට හැකි වන පරිදි ඔවුන්ගේ ඉඩම් ආපසු භාරදීම වේගවත් කළ යුතු බවයි.

හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ උපදෙස් මත ජාතික ආරක්ෂාවට කිසිදු බලපැමක් සිදු නොවන පරිදි සිවිල් වැසියන්ට අයත් උතුරු නැගෙනහිර ඉඩම් නිදහස් කිරිමේ ක්‍රියාවලිය 2018 වසරේ සිට ආරම්භ වුනු අතර ඒ අනුව යාපනය සහ වන්නි ප්‍රදේශයේ ඉඩම් අක්කර 46 කට ආසන්න ප්‍රමාණයක් සහ යාපනය සහ වන්නි ප්‍රදේශයේ පෞද්ගලික ඉඩම් අක්කර 64කට ආසන්න ප්‍රමාණයක් ද නිදහස් කර නැවත ලබා දෙන ලදී . යහපාලනයේ යුධ හමුදාපතිව සිටි මහේෂ් සේනානායකගේ ප්‍රධානත්වයෙන් යාපනය දිස්ත්‍රික්කයේ සිදු කල ඉඩම් නිදහස් කිරීමක් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ අවධානයට හසු ව තිබෙන අයුරුද අපට දැක ගන්න ලැබිණ . යුද්ධයේ නාමයෙන් ලබාගෙන ආරක්‍ෂිත කලාප බවට පත් වුනු ඉඩම් නැවත එහි අයිතිකරුවන්ට ලබා දීමේදී හමුදාවෙන් තෑග්ගක් යනුවෙන් යනුවෙන් ආමන්ත්‍රණය කෙතරම් අශ්ශිලද යනුවෙන් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සිය අප්‍රසාදය පල කර තිබිණ .

 එසේම ඉකුත් 2019 වසරේ වසර 34 ට පසු පළමු වරට අධි ආරක්ෂිත කලාපයක පිහිටි කෝවිලකට ජනතාවට ඇතුළු වීමට අවස්ථාව හිමිවූ අතර ඒ පිළිබද එවකට පලවූ පුවතක් පහතින් ඔබට බලා ගන්න පුළුවන්.

https://www.tamilguardian.com/content/sri-lankan-army-allows-access-temples-within-high-security-zone-after-34-years

ඒ වගේම මේ සම්බන්දයෙන් වෙන තවත් මුලාශ්‍ර පහතින් බලා ගන්න පුළුවන් https://www.slhcindia.org/images/stories/HszArmynew.pdf

කෙසේ වෙතත් යුද හමුදාව විසින් යුද සමයේදී අධි ආරක්ෂිත කලාප පවත්වා ගෙන ගිය කිළිනොච්චිය හා යාපනය යන දිස්ත්‍රික්කවල ඉඩම් අක්කර 109 ක් නිදහස් කොට ජනතා අයිතියට පත් කිරීම මාර්තු 19 යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ජනාධිපති කාර්යාලයේ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය සාධක බළකායේ ප්‍රධානී සාගල රත්නායකගේ ප්‍රධානත්වයෙන් සිදු විය . ඒ අනුව දැනට, ප්‍රදේශයේ සාමාන්‍ය තත්ත්වය සහ ආරක්ෂාව පවත්වාගැනීම සඳහා අත්‍යවශ්‍ය යැයි සැළකෙන ඉඩම්වලින්, හමුදාව විසින් අත්පත් කරගෙන සිටින්නේ 0.5%ක් පමණි.

ඒ අනුව මේ පිළිබද නිසි තොරතුරු දැනගැනීම අරමුණු කරගෙන අපි තොරතුරු දැනගැනීමේ පනත යටතේ යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් ඉල්ලීමක් කල අතර එහිදී පහත කරුණු අනාවරණය වුනා. 

ඒ අනුව අංක JDS/RES/L.TF&P/VII/01/2024 දරණ ලිදිය මගින් පෙන්වා දී ඇත්තේ යාපනය දිස්ත්‍රික්කයේ සිවිල් වැසියන්ට අයත් ඉඩම් අක්කර 2859 .12 ක ප්රමාණයක් තවමත් නිදහස් කර නොමැති බවයි. 

ඒ අනුව ඉහත අංක දරණ ලිපිය මගින් තව දුරටත් යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ තොරතුරු නිළධාරී වරයා සදහන් කරන්නේ මෙසේ ඉකුත් යුධ සමයේ සිවිල් වැසියන්ට අයත් ඉඩම් ආරක්ෂක හේතූන් මත පවරා ගැනීම හේතුවෙන් තවමත් පවුල් 1512 ක් පීඩාවට පත්ව ඇති බවටයි.

එමෙන්ම යුද්ධය නිමව වසර ගණනාවක් ගතව ඇතත් තම ඉඩම් නිදහස් නොකිරීම පිළිබද අදහස් දක්වන ඒ. ගුණශක්තිවේල් මහතා ඒ පිළිබද දක්වන්නේ මෙවන් අදහසක්  “අපි අවතැන් වුනේ 1990 වසරේ ඒ කාළයේ තිබුනු යුධ ගැටුම් එක්ක අපි අපේ ගම් බිම් ගෙවල් දොරවල් දාලා පණ රැකගෙන එන්න වුණා. එතන ඉදලා අපි අවතැන් දැන බොහෝ දෙනෙක් අවතැන් කදවුරු නෑ කියනවා. ඔවු කදවුරු වශයෙන් නෑ තමයි නමුත් අපි අවතැන් මොකද අපේ ඇතැම් අය කුළි ගෙවල් වල ඉන්නවා. තවත් අය ඥාතීන්ගේ ගෙවල් වල ඉන්නවා. ඉතින් අපි ඒ ඉන්නනේ අපේ උපන් ගම ගෙදර අපිට නැතිවුන හිංදා දැන් අවුරුදු කීයක්ද අපි තාමත් දුක්ඛිතව ජීවත් වෙනවා.” යැයි ඒ මහතා පැවසීය.

එමෙන්ම මේ පිළිබද අදහස් දැක්වු රාසලිංගම් රාණි මහත්මිය පැවසුවේ මෙවන් අදහසක්  “මම 1990 අවුරුද්දේ අවතැන් වෙලා එනකොට වසය අවුරුදු 16 යි. මට ගෑණු දරුවෝ තුන්දෙනෙක් ඉන්නවා. අපි ඉන්නේ කුලී ගේක මගේ එක දුවක් දැන් බැදලා. ඒ අයත් ඉන්නේ අපිත් එක්ක අපිට අපේ ඉඩකඩම් හම්බවුනොත් අපි සතුටින් ඉන්නවා. අනික දැන් මම මැරුනොත් මගේ එක ළමයෙක් වත් මට අයිති ඉඩම තියෙන තැනක් වත් දන්නෑ.” යැයි ඒ මහත්මිය පැවසීය.

මේ ජනතාව තවමත් තම උපන් බිමේ අවසන් හුස්ම පොද හෙලීමේ අදිටනින් බල ඉන්නවා. ඒ වගේම ඔවුන්ගෙන් සමහරුන් තම ඉඩ කඩම් ගෙවල් දොරවල් දශක ගනනකින් දැකලා නෑ. තවත් අය තම ඉඩ කඩම් ගෙවල් දොරවල් තිබෙන තැනක් තම දු දරුවන්ට කියන්නත් කලින් ජිවිත වලින් සමු ගෙන අවසන්ය . නිදහස් කරත් ඔවුන්ට දැකිය හැක්කේ විනාස වුනු නිවාසය, විනාස වුනු ගොඩනැගිලිය.

01.ඉඩම් හිමිකම් තහවුරු කිරීමේ දීර්ඝ ක්‍රියාවලිය

02.නිසි ලියකියවිලි නොමැතිවීම හේතුවෙන් හිමිකම සනාථ කිරීමේ අපහසුතාව

03.ආරක්ෂක අමාත්‍යාංශය මගින් තවදුරටත් ඉඩම් රඳවාගැනීම

යන කාරණා නිසා වසර ගණනාවක් පුරා කල්යන මෙම ඉඩම් පැවරීම නිසි සමීක්ෂණයකින් අනතුරුව, වඩාත් කාර්යක්ෂම සහ යුක්තිසහගත ක්‍රමවේදයකින් නැවත ලබා දීම කල යුතුය. බලයට පත් වෙන ආණ්ඩුවෙන් ආණ්ඩුවට ලකුණු දමාගැනීමට ඉතිරි කර ගන්න ව්‍යාපෘතියක්ව නොගෙන යුද්ධයෙන් බැට කෑ මෙම ජනතාවගේ ජීවනෝපාය සුරක්ෂිත කොට එම ඉඩම් සමග බැදී තිබෙන ආර්ථිකයේ දායකත්වය රටට ලබා ගන්නේ කෙසේද යන්නට උත්තර සොයන්නේ නම් රටක් විදියට ඊළග පියවරක් පිලිබදව බලාපොරොත්තු තබා ගත හැක.

සටහන – ප්‍රසන්න ප්‍රදීප්


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *