Loading...

බය නොවී ඇවිදින්න – 2028 බිම්බෝම්බ වලින් නිදහස් උතුරක්

1970 ගණන්වල කාම්බෝජියානුවන් මිලියන 1.7ක් පමණ ඝාතනය කිරීමට වගකිව යුතු කම්බෝජියානු නායක පොල්පොට් ,  “බිම්බෝම්බ යනු පරිපූර්ණ සොල්දාදුවන්ය. ඔවුන් කිසිදා නිදා නොගනිති. ඔවුන් අසීමිත ඉවසීමෙන් බලා සිටිති” යනුවෙන් වරක් පවසා ඇතැයි කියවේ . එම නිසා මෙම සටහන ගෙන එනුයේ  තවමත් අවදානමක් ඇති ලෝකයේ බොහෝ ප්‍රදේශ වලින් බිම්බෝම්බ ඉවත් කිරීමට ගෝලීය අවදානය යොමු කිරීමට අප්‍රේල් 4 වන දින සමරන ජාත්‍යන්තර බිම් බෝම්බ පිළිබඳ දැනුවත් කිරීමේ දිනය වෙනුවන් දශක තුනකට අසන්න කාලයක් ලංකාවේ පැවති සිවිල් යුද්ධයෙන් අනතුරුව බිම් බෝම්බ වලින් සම්පුර්ණයෙන් නිදහස් වීමේ ඉලක්කයේ වත්මන් තත්වය දිග හැරීමටයි . 

සිවිල් යුද්ධයේදී දේශසීමා සහ ප්‍රදේශ ආරක්ෂා කිරීම සඳහා බිම් බෝම්බ විශාල ප්‍රමාණයක් භාවිතා කරන ලදී, ඒ අතර විශේෂයෙන් උතුරු සහ නැගෙනහිර පළාත් ආවරණය වන පරිදි වව්නියාව, මන්නාරම, කිලිනොච්චිය, මුලතිව්, මඩකලපුව සහ ත්‍රිකුණාමලය වේ.  මේ හේතුවෙන් උතුරු සහ නැගෙනහිර පළාත්වල ජීවත් වූ සිවිල් වැසියන් සැලකිය යුතු පිරිසක් අවතැන් විය. ඔවුන්ගෙන් වැඩි දෙනෙක් ඉන්දියාවේ සරණාගත කඳවුරු වෙත සංක්‍රමණය වුනු අතර අනෙක් අය ශ්‍රී ලංකා රජය සහ මානුෂීය අංශයේ රාජ්‍ය නොවන සංවිධාන විසින් පවත්වාගෙන ගිය කඳවුරුවල රැඳී සිටියාය . 

 දත්ත අනුව 1980 ගණන්වල සිට බිම් බෝම්බ සහ යුද්ධයේ අනෙකුත් පුපුරණ ද්‍රව්‍ය හේතුවෙන් පුද්ගලයින් 22,193 දෙනෙකු මිය ගොස් තිබේ . UNICEF වාර්තා කළේ 2006 සිට 2009 දක්වා කාලය යුද්ධයේ වඩාත් තීව්‍ර කාල පරිච්ඡේදවලින් එකක් වූ නිසා නිවැරදි තොරතුරු වෙත ප්‍රවේශ වීම දුෂ්කර බැවින් බොහෝ මරණ වාර්තා වී නොමැති බවයි. බිම්බෝම්බ ඉවත් කිරීමේ නිරතු දේශීය හා විදේශීය ආයතන වලට අනුව උතුරේ අනිවාරෙන්ම මිලියනයකට අධික බිම් බෝම්බ වලදමා ඇති බව ඔවුන්ගේ මතයයි. 

උතුරේ ඇතිවූ සිවිල් යුද්ධය හා ප්‍රදේශයේ අඟලින් අඟලට වල දමා ඇති බිම් බෝම්බ හේතුවෙන් සිවිල් වැසියන්ට තම පදිංචි ප්‍රදේශ අතහැර පලා යාමට සිදුවූ බව නොරහසකි. යුද්ධය අවසන්ව වසර 15 ක් පමණ ගත වුවත් උතුරේ තවත් සිවිල් වැසියන් පිරිසක් බිම් බෝම්බ හේතුවෙන් අවතැන්ව සිටින්නේ සිය ඉඩකඩම වලට යාමට නොහැකි වීම හේතුවෙනි. 

2009 සිවිල් යුද්ධයේ කූටප්‍රාප්තියත් සමඟ, සරණාගත කඳවුරුවල සිටි සිවිල් වැසියන්ගෙන් බහුතරයක් විශාල කණ්ඩායම් වශයෙන් ආපසු පැමිණ තම මව්බිම නැවත අත්පත් කරගෙන සාමකාමී පරිසරයක තම ජීවිතය නැවත ආරම්භ කළහ. මෙය ඉඩම් අත්පත් කර ගැනීම සඳහා හදිසි ඉල්ලුමක් ඇති කළ අතර පුනරුත්ථාපන කටයුතු සහ නැවත පදිංචි කිරීමට ඉඩම් නිදහස් කිරීමට පෙර රජයට ජනතාවගේ ආරක්ෂාව සහතික කිරීමට සිදු විය.

ඒ අනුව උතුරේ බෝම්බ ඉවත් කරීමේ කටයුතු වල නිරත වන ”Halo Trust” සංවිධානය 2002 වසරේ සිට උතුරේ බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු වල නිරතව සිටි. එම සංවිධානයට අනුව උතුරේ කිසිදු වාර්තාවක් නොමැතිව වලදැමූ බිම් බෝම්බ මිලියන 1.6 කට අධික වෙතයි ඔවුන් මත පල කරයි. 

එමෙන්ම ඉහත සදහන් කල පරිදි  ඉකුත් යුධ සමයේ යුධමය වශයෙන් සුවිශේෂී ඉදිරි ආරක්ෂක වළල්ලක් බවට පත්වූ මුහමලේ ඉදිරි ආරක්ෂක වළල්ල තුල ශ්‍රී ලංකා හමුදාව හා කොටි සංවිධානය සිය සීමාවන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් විශාල වශයෙන් බිම්බෝම්බ වල දමා තිබු බව එම  සංවිධානය පෙන්වා දෙයි. 

ඒ අනුව එම සංවිධානයට මුහමාලේ ඉදිරි ආරක්ෂක වළල්ල පිහිටා තිබු ප්‍රදේශයේ දෙපාර්ශවය විසින් ම වලදමා තිබු බිම් බෝම්බ ඉවත් කිරිමට වසර 10 ක් ගතව තිබේ. එහිදී එම ප්‍රදේශය  තුලින් පමණක් 60,000 ක පමණ බිම් බෝම්බ ගලවා ඉවත් කිරීමට බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු වල නිරත වූ එම සංවිධානයේ පිරිස් වලට හැකිව තිබේ. 

උතුරේ මෙසේ බිම් බෝම්බ වලදමා තිබීම එහි වෙසෙන ජනතාවගේ ජීවනෝපායට විශාල බලපෑමක් බවට පත්ව ඇත්තේ ඔවුන්ගේ ප්‍රධාන ජීවනෝපාය කෘෂි කර්මාන්තය වන බැවිනි. තවද බොහෝ පිරිසක් ගව පාලනයේ නිරත වන අතර ඔවුන්ට ද මෙම බිම් බෝම්බ ගැටලුව සිය ජීවිකාව සිදු කිරීමේදී මහත් ගැටලුවක් බවට පත්ව තිබේ. විශේෂයෙන් ඉකුත් යුධ සමයේ උතුරේ ගොවි ජනතාවගේ ඉඩම් යුධමය කටයුතු සදහා දෙපාර්ශවය විසින්ම යොදා ගත් අතර ඒවා යුද්ධය අවසානයේ බිම් බෝම්බ වැපිරූ බිම් වශයෙන් ඉතිරි විය. කෙසේ වෙතත් එම ඉඩම් වල අවසානයේ පය තබා ගොවිතැන් කිරීමට ගොවීන්ට නොහැකි විය. අනෙක් අතට උතුරේ කිරි ගොවීන්ගේ ගව සම්පත මෙම බිම් බෝම්බ වල ගොදුරු බවට පත් වීමද ගොවීන්ගේ ජීවනෝපායට මෙම ගැටලුව මරු පහරක් වීමට හේතු විය. 

මේ හේතුවෙන් මෙරට කෘෂි නිෂ්පාදනයේ වැඩි දායකත්වයක් ලබා දෙන උතුරේ ගොවීන්ට නිකමුන් මෙන් බිම් බෝම්බ වැපිරූ මුඩු බිම් දෙස යුද්ධය නිම වීමෙන් පසු බලා සිටීමට සිදුව විය. කෙසේ වෙතත් උතුරේ බිම් බෝම්බ ඉවත් කිරීමේ සංවිධාන වල වැඩ පිළිවෙල හේතුවෙන් ඉන් බොහෝ ඉඩම් අද වන විට බිම් බෝම්බ වලින් තොර කලාප බවට පත් ව ඇතත් තවත් ඉඩම් ප්‍රමාණයක්  මුඩු බිම් ලෙස යුද්ධය නිමවා දශකයකට වැඩි කලක් ගතව ඇතත් පවතින්නේ බිම් බෝම්බ නිසාවෙනි. 

උතුරේ බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු වල නිරත වන ”MAG” නමැති සංවිධානය විසින් වර්ග කිලෝමීටර් 52.5 ක පමණ බිම්බෝම්බ ඉවත් කොට ඇති අතර ඔවුන් එහිදී පුපුරන ද්‍රව්‍ය කොටස් 63,741 ක් හා පුපුරා නොගිය බෝම්බ 28,187 ක් ඉවත් කොට තිබේ. 

තව ද එම කටයුතු වල නිරත වන ”ෂාෆ් ” සංවිධානයට අනුව පසුගිය වසර 08 තුල කිලිනොච්චිය හා මුලතිව් යන දිස්ත්‍රික්ක වල බිම් බෝම්බ හා අන්තරාය පුපුරණ  ද්‍රව්‍ය කොටස් 39,134 ක් ආරක්ෂිතව ඉවත් කර ඇති බව ඔවුන්ගේ වාර්තා පෙන්වා දෙයි. 

ෂාෆ්‍ සංවිධානය ජපානය හා එක්සත් ජනපදයේ මූල්‍ය අනුග්‍රහයෙන් මෙම කටයතු සිදු කරනු ලබන අතර වසර අට තුල ඔවුන් වර්ග මීටර් 2,812,768 ක භුමි ප්‍රමාණයක බිම් බෝම්බ ඉවත් කොට තිබේ.   

ඒ අනුව ජාත්‍යන්තර සහය හා ශ්‍රී ලංකා රජයේ අනුග්‍රහය මත මේ වන විට හදුනා ගත බොහෝ ප්‍රදේශ බිම්බෝම්බ වලින් තොර කලාප බවට පත් කිරීමට මෙම සංවිධාන කටයුතු කරමින් සිටින සිටී. බිම් බෝම්බ ඉවත් කිරීම අඛණ්ඩ ක්‍රියාවලියක් වන නමුත් ලංකාව මේ වනවිට සැලකිය යුතු ප්‍රගතියක් ලබා තිබෙන නිසා අඛණ්ඩ උත්සාහය සහ සහයෝගය ඇතිව  2028 වන විට බිම් බෝම්බවලින් තොර වීමේ ඉලක්කය සපුරා ගත හැකි යැයි විශ්වාස කෙරේ .

සටහන – ප්‍රදීප් කුමාර


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *