මුන්දලම කලපුව මළ කලපුවක් (Dead Lagoon) බවට පරිවර්තනය වන්නට පටන් ගත්තේ මීට වසර ගනනාවකට පෙරදීය. වර්ග කිලෝ මීටර් 36 ක් විශාල මුන්දලම කලපුවේ ජලය එහා මෙහා සංසරණය වුයේ “හැමිල්ටන් ඇල” ඔස්සේය.ඊට හේතුව වී ඇත්තේ මුන්දලම කලපුව මහ මුහුද සමග සම්බන්ධ වන උඩප්පුවේ පිහිටි එකම “මෝය කට” වසරේ වැඩි කාලයක් වැලි තලාවකින් වැසී තිබෙන නිසාය.හැමිල්ටන් ඇල පුත්තලමේ සිට කොළඹ දක්වා සිය ගමන් මාර්ගය කර ගෙන තිබෙන්නේ මුන්දලම සහ හලාවත කලපු හරහා වීම නිසා මෝය කට වැලි තලාවකින් වැසී යාම කිසිවෙකුට ගැටළුවක් වී නොතිබුනේය.
මුන්දලම කලපුව මිය යන්නට පටන් ගත්තේ තනියම නොවේ.තමන්ගේ සහායට ඉන්නා හැමිල්ටන් ඇලද මුන්දලම කලපුව සමග දිනෙන් දින මිය යන්නට පටන් ගත්තේය.අතීතයේදී මුන්දලම කලපුවේ මෙන්ම හැමිල්ටන් ඇලේ සිටි මසුන් දැන් දකින්නට නැත.ඒ මසුන් ක්‍රමයෙන් වදවී ගොස් ඇත්තේ ප්‍රදේශයේ ධීවරයින්ගේ ආර්ථිකයටද මරු පහරක් එල්ල කරමිනි.
මුන්දලම කලපුව සහ හැමිලටන් ඇල අක්‍රීය තත්ත්වයට පත් වන්නට හේතු කීපයක් විය.ඉන් ප්‍රධානතම හේතුව වන්නේ කලපුව සහ හැමිටන් ඇල දැවැන්ත මඩ තට්ටුවකින් ගොඩ වී යාමය.කලපුවේ පතුලේ ඇතැම් ස්ථාන අඩි 10 ක් 12 ක් තරමට මඩ තට්ටුවකින් වසා ගෙන තිබෙන බව මෙම ලියුම්කරු කරන ලද සොයා බැලීමකදී අනාවරණය විය.
මුන්දලම කලපුව සහ හැමිලටන් ඇල භාවිතා කරමින් ආර්ථිකය සරි කර ගන්නේ ධීවරයින්ම පමණක් නොවේ.ඒ අවට පවත්වා ගෙන යන ඉස්සන් ව්‍යාපාර රැසකට අවශ්‍ය “කරදිය” ජලය ලබා ගන්නේ හැමිල්ටන් ඇලෙන් එහෙමත් නැත්නම් මුන්දලම කලපුවෙනි.ඉස්සන් ව්‍යාපාර වල අස්වැන්න නෙලා ගැනීමෙන් පසුව ඉවත් කරන අප ජලය කිසිදු ගැටළුවකින් තොරව නැවත මුදා හරින්නේද කලපුවට හෝ හැමිලටන් ඇලටය.මෙම ක්‍රියාවලිය දශක පහක කාලයක සිට බාධාවකින් තොරව සිදු වන්නකි.
ඉස්සන් ව්‍යාපාර පවත්වා ගෙන යාමේදී ඒ සදහා විවිධ දෑ යොදති.විශේෂයෙන්ම “පසේ තත්ත්වය” රැක ගැනීම සදහා “හුණු අළු” යෙදීම මුලින්ම සිදු කරති. ඉස්සන් පොකුණු වල පැටවුන් තැම්පත් කිරීමට පෙර කලපුවෙන් හෝ හැමිල්ටන් ඇලෙන් ජලය පුරවා ගැනීම සිදු කරති.එසේ පුරවා ගන්නා ජලය සමග ඉස්සන් පොකුණු වෙත පැමිනෙන මාළු වර්ග නැති කිරීම සදහා විවිධ රසායණික ද්‍රව්‍ය යෙදීමද අනතුරුව සිදු කරති.මන්ද පොකුණු වල තැම්පත් කරන ඉස්සන්ට ලබා දෙන ආහාර ජලයේ සිටින මාළු ආහාරයට ගැනීම සිදු කරන නිසාය. එමෙන්ම ඉස්සන්ට වැළදෙන රෝගාබාධ සුව කිරීම සදහාද විවිධ වර්ගයේ රසායණික ද්‍රව්‍ය යෙදීම ව්‍යාපාරිකයින් විසින් සිදු කරති.ඒ තමන්ට සාර්ථක අස්වැන්නක් ලබා ගැනීම සදහාය.අස්වැන්න නෙලීමෙන් අනතුරුව පොකුණු වල ජලය පෙර සදහන් කර ඇති ආකාරයට කලපුවට හෝ හැමිලටන් ඇලට මුදා හරින්නේ යොදා තිබු හුණු අළු සහ රසායණික ද්‍රව්‍යන්ද සමගය. ඉස්සන් ගොවිපල සදහා යොදන ඇතැම් රසායණික ද්‍රව්‍ය වල ජීව කාලය දින 90 කට වැඩි බව ඒ සම්බන්ධයෙන් කරන ලද සොයා බැලීමකදී අනාවරණය විය.
මුන්දලම කලපුවේ හා බද්ධ වෙමින් පවුල් 1000 ක් පමණ සෘජු ලෙස ජීවිකාව කරගෙන යති.ඉන් බොහෝ දෙනෙකු සිදු කරන්නේ මසුන් මැරීමය.ඔවුන් ගොඩ බිමට රැගෙන එන මසුන් අලවි කිරීමෙන්,කරවල කිරීමෙන් තවත් පිරිසක් ජීවත් වෙති.මේ අතර,ඔවුන්ට අවශ්‍ය සෙසු පහසුකම් සම්පාදනය කරමින් ජීවිකාව ගැන ගසා ගන්න පිරිසක්ද සිටින බව අපි අමතක නොකළ යුතුව ඇත.
2023 වසරේදී මාර්තු මාසයේ අග කාලයේදී මුන්දලම කලපුවේ මසුන් විශාල ප්‍රමාණයක් එක් වරම මිය ගියේය.මිය ගිය මසුන් කලපු ඉව්ර තුළ ගොඩ ගසා තිබුනේ ප්‍රදේශයේම පරිසරයට හානියක් සිදු කරමිනි.මෙම සිද්ධිය මාධ්‍ය මගින් හෙලි කිරීමත්,ධීවරයින් විසින් පැමිණිළි කිරීමත් නිසා නාරා ආයතනය පැමිණ පර්යේෂණ කීපයක් සිදු කරන ලදි.එම පර්යේෂණ වලින් ලද ප්‍රතිඵලය වූයේ “කලපුවේ ඔක්සිජන් හිගවීම” නිසා මසුන් මිය ගොස් ඇති බවය.වසරක් ගෙවී ගියත් කලපුවේ ඔක්සිජන් හිග වීමට හේතුව කුමක්ද යන්න කිසිවෙකු සොයා බලන්නට කටයුතු කළේ නැත.ඒ වෙනුවට ඔවුන් කළේ නාරා ආයතනය විසින් දින කීපයක් තිස්සේ කරන ලද පර්යේෂණ වල වාර්තාව “හමස්” පෙට්ටියක බහා තිබීමය.ඉන් එහාට කළ දෙයක් නම් නැත.
කාලය ගෙවෙමින් පවතින විට ඉකුත් සතියේද නැවත මුන්දලම කලපුවේ සිටි මසුන් මිය යන්නට විය.මිය ගොස් ඇති ලොකු – කුඩා මසුන් විශාල ප්‍රමාණයක් කලපු ඉව්රට ගොඩ ගසා තිබුණි.විශාල අගුළුවන් සහ කාවයියන්ද කලපු ඉව්රේ ජීවිතය හා පොර බදිමින් සිටින බවක්ද දක්නට ලැබුණි.මසුන්ට අමතරව කලපුවේ ජීවත් වූ උරගයින්ද මිය ගොස් සිටි බවත්,“වාලක්කඩියා” නම් කරදියේ ජීවත් වන නයාද ඒ අතර සිටි බව නාරා ආයතනය සනාථ කළේය.
වසරක් වැනි කෙටි කාලයක් තුළදී මුන්දලම කලපුවේ මසුන් මේ ආකාරයට දෙවරක් මිය ගියේ කුමන හේතුවක් නිසාද යන්න සොයා බලන්නට මෙම ලියුම්කරු කටයුතු කළේය.ඒ අනුව මුලින්ම මුන්දලම කලපුව අවට නිරීක්ෂණය කරන්නට අපට හැකි විය.සාමාන්‍ය ආකාරයට ධීවරයින් විසින් කලපුවේ එලා තිබූ දැල් වලට එදින හසුවී තිබුනේ මිය ගිය මාළුන්ය.මිය ගොස් සිටි එම මාළු කුමන ආකාරයකට හෝ අලවි කිරීමටවත්,ආහාරයට ගැනීමටවත් නොහැකි බව ධීවරයින් අප සමග කියා සිටියේය.
එහිදී අපට මුලින්ම හමු වුනේ මුන්දලම ශාන්ත ජේමිස් ධීවර සමිතියේ සභාපති මර්තීණු ප්‍රනාන්දු මහතාය.මුන්දලම කලපුව කේන්ද්‍ර කරගෙන ජීවත් වන ධීවරයින් විසින් මෙම ධීවර සමිතිය පිහිටුවා ඇත.
“වෙලා තියන දේ පේනවා නේද?කලපුවේ ඉන්න ලොකු පොඩි ඔක්කොම මාළු මැරිලා.මේ පාඩුව අවුරුදු දෙකක් තුනක් යන තුරු බලපාන්න පුළුවන්.ගිය අවුරුද්දෙත් මේ වගේම මාළු මැරුණා.නාරා ආයතනය ඇවිත් පරීක්ෂණ කලා. එයාලා කියන්නේ කලපුවේ ඔක්සිජන් ප්‍රමාණය අඩුවෙලා.මාළු මැරෙන්න හේතුව ඒකයි කියන එක.එහෙම නම් ඒ අය මුලින්ම කළ යුතු වන්නේ කලපුවේ ඔක්සිජන් අඩු වෙන්න හේතුව මොකක්ද කියලා හොයලා බලලා ඒකට පිළියම් යොදන එකනේ.නමුත් එහෙම වුනේ නෑ.පරීක්ෂණ කලා. වාර්තාවක් හැදුවා.ඒ වාර්තාව බාර දුන්නා.වැඩේ එතනින් ඉවරයි.අන්තිමේට ධීවරයා අනාථයි.
දැන් බලන්න මේ විධියට එක පාර මාළු මැරෙන්නේ ඔක්සිජන් අඩු වුනහමද? මොකද කලපුවේ ඔක්සිජන් එක රැයකින් සියල්ලම අඩු වෙනවද?නැහැනේ. එහෙම නම් ඔක්සිජන් අඩු වෙන්න ඕනේ ටික ටික.එතකොට මාළු මැරෙන්නේ ටික ටික.ඔන්න ඔය ටික තේරුම් ගන්න බැරි නිලධාරීන් පිරිසක් එක්ක අපි කොහොමද වැඩ කරන්නේ කියන එකයි ප්‍රශ්ණය.දැන් කොහොම හරි වෙච්ච දේ වුණා.ඉදිරියටවත් මේ වාගේ දේවල් නොවෙන්න වග බලා ගන්න කියලයි අපි නම් කියන්නේ.”
නාරා ආයතනයේ පරිසර අධ්‍යයන අංශයද මුන්දලම කලපුවේ තත්ත්වය සම්බන්ධයෙන් විමර්ශණයක් සිදු කර ඇත.කලපුවේ ජල සාම්පල මෙන්ම මිය ගොස් සිටි මසුන්ද ගෙනවිත් තම විද්‍යාගාර වලදී පරීක්ෂණ සදහා යොමු කළ බව නාරා ආයතනයේ පරිසර අංශයේ ප්‍රධානී ආචාර්ය ශ්‍යාමලී වීරසේකර මහත්මිය පැවසුවාය.
“මුන්දලම කලපුවේ සිදුවී ඇති තත්ත්වය පිළිබදව අපි දැඩි විමසිල්ලෙන් සොයා බැළුවා.එහිදී අපට අනාවරණය වූ කරුණ නම් කිසියම් රසායණික ද්‍රව්‍යයක් කලපුවට එකතු වෙලා තියන බවයි.නමුත් කලපුවට එකතු වී ඇත්තේ කුමන රසායණික ද්‍රව්‍යයක්ද යන්න මෙතෙක් තහවුරු වෙලා නෑ.මසුන් ඔය ආකාරයට විශාල ප්‍රමාණයක් එක වර මිය යන්න නම් බලගතු රසායණික ද්‍රව්‍යක් කලපුවට එකතු වෙන්න ඕනා කියන අදහස නම් අපිට තියනවා.කොහොම වුවත් අපි අපේ පර්යේෂණ කටයුතු තවම අවසන් කරලා නෑ.නැවත වතාවක් මෙවැනි තත්ත්වයක් ඇති වීම හොද නෑ කියන එකයි මගේ අදහස.” ආචාර්ය ශ්‍යාමලී වීරසේකර මහත්මිය කියා සිටියාය.
පුත්තලම සහකාර ධීවර අධ්‍යක්ෂක සරත් චන්ද්‍රසෝම මහතාගෙන්ද අප මේ සම්බන්ධයෙන් විමසා සිටියෙමු.
“කලපුවට වෙලා තියෙන්නේ ලොකු හානියක්. මසුන් මිය යාම නිසා ධීවරයාට පාඩුවක් වෙනවාට වඩා පරිසරයට සිදුවන විනාශය අති විශාලයි.මොකද මිය ගොස් සිටින මාළු සියල්ලම කොහොමද විනාශ කරන්නේ.අනික කලපු ඉවුරට ගොඩ ගසා තිබෙන මාළු කාක්කන් වැනි සතුන් අරගෙන යනවා.එසේ ගෙනියන මාළු පානීය ජලය ලබා ගන්නා ළිං වලට වැටෙන්නත් පුළුවන්.එහෙම වුනොත් පානීය ජලයත් අනතුරු දායක තත්ත්වයට පත් වෙනවා.මේ වාගේ ගැටළු රැසක් වර්තමානයේ ඇති වෙලා තියනවා. කොහොම වුනත් මුන්දලම කලපුව අවට පවත්වා ගෙන යන ඉස්සන් ගොවිපල සම්බන්ධයෙන් අපි වැඩි අවධානයක් යොමු කරන්න තීරණය කලා.ඇතැම් ඉස්සන් ගොවිපල සදහා විවිධ රසායණික ද්‍රව්‍ය යොදන බවට චෝදනාවක් තියනවා.ඉදිරියේදී අපි ඒ සම්බන්ධයෙන් සොයා බලා වරදකරුවන් සිටින්නේ නම් ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නත් කටයුතු කරනවා.”
ජල ජීවී වගා සංවර්ධන අධිකාරියට අනුව මුන්දලම කලපු පතුලේ නිපදවෙන ඇමෝනියා විශේෂයක් මේ ආකාරයට මාළු මිය යාමට හේතුව වී ඇත.නමුත් කලපු පතුලේ ඇමෝනියා නිෂ්පාදනය වන්නට ඇත්තේ කුමන හේතුවක් නිසාද යන්න මෙතෙක් කිසිවෙකුත් අනාවරණය කරගෙන නැත.
ප්‍රදේශයේ ධීවරයින් සමග මෙන්ම මේ සම්බන්ධයෙන් කටයුතු කරන නිලධාරීන් සමගද කළ කථා බහ අනුව කරුණු කීපයක් අවබෝධ කර ගන්නට අපට හැකි විය.
- කලපු පතුල සහ හැමිලටන් ඇල තුළ රොන් මඩ තැම්පත් වී නොගැඹුරු වීම ප්‍රධානතම කරුණක් වී ඇත.මන්ද මෙම තත්ත්වය නිසා වැසි කාලයේදී කලපුවට ප්‍රමාණවත් තරම් ජලයක් එකතු නොවීම නිසා ජලයේ ලුණු ඝනත්වය ඉහළ යාම සිදු විය හැකි බැවිනි.
- කලපුව සහ හැමිල්ටන් ඇප ආසන්නයේ පවත්වා ගෙන යන ඉස්සන් ගොවිපල පිළිබදව මීට වඩා සැළකිළිමත් විය යුතුව ඇත. එම ඉස්සන් ගොවිපල සදහා යෙදා ගන්නා රසායණික ද්‍රව්‍ය මොනවාද? ඒවා මෙරටට ආනපයනය කිරීමට අවසර තිබේද? යන්න ප්‍රධාතම කරුණකි. එපමණක් නොව රසායණික ද්‍රව්‍ය යොදන ලද ජලය ඉස්සන් පොකුණු වලින් එක් වරම කලපුවට මුදා හැරීමක් නොකරන ක්‍රමවේදයක්ද කඩිනමින් සකස් කළ යුතුව ඇත. එසේ නොවන තෙක් කලපු ජලය දූෂණ වීම වැළැක්විය නොහැකි වනවා ඇත.
- කලපු සංරක්ෂණය සදහා සිටින නිලධාරීන් එකට එක්ව තම රාජකාරි කටයුතු කළ යුතුව ඇත. එසේ නොමැතිව තොප්පිය එකින් එකාට මාරු කර ගනිමින් ඇග බේරා ගන්නා න්‍යාය අවසන් වන තුරු ඉලක්කය ජය ගත නොහැකි වනවා ඇත.
සටහන- ජූඩ් සමන්ත








Leave a Reply