Loading...

කළගුණ සලකන්න ජන්දයක් එනකම් බලන් ඉන්න ධීවරයෝ

අපේ රටට විදේශ විනිමය ලැබෙන මාර්ග කීපයක් ඇත.ඒ අතරින් බහුදින ධීවර කර්මාන්තකරුවන් පමණක් වසරකට ඩොලර් බිලියන 300 ක පමණ විදේශ විනිමය අප රටට ගෙන එන බව කියති.

ධීවර දෙපාර්තමේන්තුවේ සටහන් වලට අනුව මෙරට බහුදින යාත්‍රා 6000 ක් පමණ ලියාපදිංචි කර ඇත.එක් බහු දින යාත්‍රාවක අවම වශයෙන් ධීවරයින් 7 දෙනෙකු සේවය කරති.ඒ අනුව පෙර සදහන් කර ඇති පරිදි බහුදින යාත්‍රා සදහා අවම වශයෙන් ධීවරයින් 42,000 ක් සේවය කරති. ඊට අමතරව වක්‍ර ආකාරයට බහු දින යාත්‍රා කර්මාන්තය හේතුවෙන් ජීවත් වන පිරිස මිලියන 02 ක් පමණ සිටින බවද කියති.

දින 60 කට හෙවත් මාස 02 ක පමණ කාලයකට අවශ්‍ය කරන ආහාර,ඉන්ධන, අයිස්,මසුන් මැරීම සදහා අවශ්‍ය කරන “ඇම” ඇතුළු බොහෝ දෑ සමග බහු දින යාත්‍රාවට ගොඩ වන ධීවරයින් සීමා මායිමක් පේන්නවත් නැති මුහුදට යන්නේ මසුන් මැරීම සදහාය.එයද ලෙහෙසි පහසු වැඩක් නොවන්නේය. තෙරක් නොපෙනෙන මහ මුහුද මැද මුහුදු සීමාවන් උල්ංඝනය නොකර ඔවුන් ජාත්‍යන්තර මුහුදට එසේත් නැත්නම් අරාබි මුහුදට යාත්‍ර කර මසුන් මැරීම සිදු කරති.ඒ විදේශීය වෙළෙද පල සදහාය.

දින ගණනාවක් මහ මුහුදේ  ගත කරන ඔවුන් මව්රටට පැමිණෙන්නේ විදේශ විනිමය කන්දක් ද දෙවුර මත තබා ගෙනය.ඒ එදා කථාවය.නමුත් අද කතාව සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇත.

“ඉස්සර මේ කර්මාන්තය හොදට ආදායම් හොයන්න පුළුවන් එකක්.ඒත් අද ඒ තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා.කරන්න ඕනා නිසා කරනවා මිසක් කැමැත්තෙන් කරන දෙයක් නෙමෙයි. ඉස්සර හොදයිලු .දැන් කරගෙන යන්න බැහැලු .ඒත් වසරකට ඩොලර් මිලියන 300 ක පමණ විදේශ විනිමය ප්‍රමාණයක් අපේ රටට අරගෙන එනවාලු . මොකක්ද මේ කථාන්දරය ” සමස්ථ ලංකා බහු දින යාත්‍රා හිමියන්ගේ සංගමයේ ලේකම් රුවන් ප්‍රනාන්දු මහතා සදහන් කරයි.

බහු දින යාත්‍රාවක් රුපියල් කෝටි 1 ½ ක් පමණ වටිනවා.මේ කර්මාන්තය කරන බොහෝ දෙනෙක් අවුරුදු ගානක් විදේශ රටවල් වල දුක් විදලා මුදල් හම්භ කරපු අය.එහෙමත් නැත්නම් පරම්පරාවෙන් උරුම වුන නිසා කරන අය.ඇතැම් අය තමන් පදිංචි ගෙවල් බැංකුවට උගස් කරලා තියෙන්නේ.

සාමාන්‍ය ආකාරයට බහුදින යාත්‍රාවක් මුහුදට දියත් කරන්න අපිට රුපියල් ලක්ෂ 50 කට වැඩි මුදලක් වැය වෙනවා.අඩුම තරමින් ඉන්ධන ලීටර් 10,000 ක් වත් ඕනා.ඊට අමතරව ජලය,අයිස්,ආහාර මේ සියල්ලම අරගෙන තමයි අපේ යාත්‍රා මුහුදට යන්නේ.අපේ ප්‍රධානතම ඉලක්කය යුරෝපා රටවල්.අද වෙලා තියෙන්නේ මොකද දන්නවාද?අපේ රටේ මාළු මිලට වඩා අඩු මිලට වෙනත් රටවල් වලින් යුරෝපයට මාළු යවනවා.අන්න ඒක තමයි තියන ලොකුම ගැටළුව.බොහෝ රටවල් වල බහුදින යාත්‍රා කර්මාන්තයට සහන රැසක් දීලා තියනවා.ඉන්ධන,මසුන් මැරීම සදහා යොදා ගන්නා දැල් ආම්පන්න වාගේ දේවල් වලට.නමුත් අපේ රටේ එහෙම නෑ.දරා ගන්න බැරි බදු කන්දක් අපේ හිස මත පටවලා තියනවා.ඒ නිසා කරන වියදම් එක්ක බලන කොට ලැබෙන ආදායම ප්‍රමාණවත් නෑ…..”රුවන් ප්‍රනන්දු මහතා කියා සිටියේය.

“පත්වෙන සෑම රජයකටම අපි මේ කථාව කියලා තියනවා.රජය දැන ගන්න ඕනේ විදේශ විනිමය හොයන කර්මාන්ත දිරි ගන්වන ආකාරයේ වැඩ කරන්න. නමුත් අවාසනාවකට එහෙම වෙන්නේ නෑ.රජය පනවන සියළුම බදු ගෙවා ගෙන අපි විදේශ විනිමය හොයලා දෙන්න ඕනේ.ඇත්තටම ඒක හරිම අමාරු වැඩක්……”බහු දින යාත්‍රා හිමියන්ගේ සංගමයේ සභාපති ටිරෝන් මෙන්ඩිස් මහතා සදහන් කරයි.

“අපි මහ මුහුද මැද්දේ කරන්නේ ජීවිතයත් මරණයත් එක්ක හටනක්.ආපහු ගොඩ බිමට එන්න ලැබෙන්න,දරුවෝ බිරිදව දකින්න ලැබෙන්න කියලා දෙවියන්ට කියලා තමයි අපි බෝට්ටුවට ගොඩ වෙන්නේ.එතන ඉදලා ඉතිං අපි කරන්නේ සටනක්.මහ මුහුදේ සීමා මායිම් තියනවා.අපි යාත්‍රාව පදවන්නේ රේඩාර් එක දිහා බලාගෙන.මුහුදේ ඇතැම් තැන් තියන එහාට මෙහාට වෙන්න බැරිව යාත්‍ර කරන්න වෙන.මොකද කිසියම් රටක සීමාකට ඇතුළු වුනොත් අපිව අල්ලා ගන්නවා.ඒ නිසා මේ වැඩේ හරිම අමාරුවෙන් තමයි අපි කරන්නේ. එහෙම කරලා අල්ලා ගෙන එන මාළු ටික බොහෝම අඩු මිලකට තමයි අලවි කරන්න වෙන්නේ කියලා මුදලාලි කියනවා.මොනවා කරන්නද?වෙන රස්සවාක් කරන්න දන්නේ නැති නිසා මේක කරගෙන යනවා.” බහු දින යාත්‍ර ධීවරයෙකු කියා සිටියේය.

“අපිත් මේ බලාගෙන ඉන්නේ ඡන්දයක් එනකල් තමයි.මොකද ඔය ඕනම දෙයක් කතිරෙන් කරන්න පුළුවන්නේ.ඉදිරියේ එන මැතිවරණ වලදී ධීවරයාගේ ඡන්දය වැදගත් වෙයි කියලා අපි විශ්වාස කරනවා.මොකද මිලියන 02 ක් කියන්නේ පොඩි ගානක් නෙමෙයිනේ….”බහු දින යාත්‍රා හිමියන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සුනිල් ප්‍රනාන්දු මහතා සදහන් කරයි.

කෙසේ වෙතත් පාලකයින් මේ සම්බන්ධයෙන් දෙනෙත් විවර කර නොබැලීම නම් කනගාටුවට කරුණකි.මන්ද බහුදින යාත්‍රා කර්මාන්තය අප රැක ගත යුතු නිසාය.

සටහන – ජූඩ් සමන්ත


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *