Loading...

හදිස්සියකට වතුර ටිකක් නැති බදුල්ල

බදුල්ල නගරය තුල හදිසි ගිනි ගැනීමකදී ගිනි නිවීම් ඒකකයේ රථ වාහන සදහා ජලය ලබාගැනීමට නගරයේ පවතින ජලෝත්ගමන (Fire Hydrant) පද්ධති හයෙන් එක් පද්ධතියක් මාර්ග සංවර්ධන අධිකාරියේ සංවර්ධන කටයුත්තකදී වසා දමා ඇති බව 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ පනතට අනුව හෙලිදරව්වී ඇත.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ඌව) පියරත්න සමරතුංග මහතාගේ අත්සනින් නිකුත් කෙරුණු අංක නිසා/ප්‍රාසේම/(ඌව)/ප්‍ර.ඉ.(යාහවි) දරන ලිපියෙන් ඒ බැව් තහවුරු කර ඇත.

බදුල්ල නගරය තුල හදිසි ගිනි ගැනීමකදී ගිනි නිවීම් ඒකකයේ රථවාහන සදහා ජලය ලබා ගැනීමට ජලෝත්ගමන පද්ධති 6ක් ස්ථාපිත කර ඇති අතර, එය සකසා ඇත්තේ 1992 – 1995 කාල වකවානුවේදී බවයි සදහන් වන්නේ. නමුත් මෙම ජලොත්ගමන පද්ධති 6න් දෙකක් ඇරෙන්නට ඉතිරි 4ම අක්‍රිය තත්වයේ පවතින බවයි බදුල්ල මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකයේ උසස් නිළධාරියෙක් සදහන් කර සිටියේ. එය පසුගිය දිනෙක පැවති ගිනි නිවීම් පෙරහුරුවකදීද තහවුරුවූ බව එම නිළධාරියා වැඩි දුරටත් සදහන් කලේය.

බදුල්ල මහ රෝහල ඉදිරිපිට, පොලීසිය ඉදිරිපිට, පළාත් සභාව ඉදිරිපිට, මුතියංගණ රාජ මහා විහාරස්ථානය ඉදිරිපිට, දුම්රියපොල ඉදිරිපිට සහ බදුල්ල පහළ වීදියේ කිංස් පොල්කඩේ අසල මෙම ජලොත්ගමන පද්ධති සකසා ඇති අතර පහළ වීදියේ කිංස් පොල් කඩේ අසල ඇති ජලොත්ගමන පද්ධතිය සම්පූර්ණයෙන් වසා දමා ඇත්තේ.

ජලොත්ගමන පද්ධතියක් මාර්ග සංවර්ධන අධිකාරිය විසින් වසා දමා තිබේද යන්න පිළිබදව මාර්ග සංවර්ධන අධිකාරියේ බදුල්ල කාර්යාලයේ විධායක ඉංජිනේරු එස්.එස්. හෙන්නායක මහතාගෙන් විමසීමක් කලෙමු.

මෙම ජලොත්ගමන පද්ධතිය අවහිරවීමට අදාලව 2022.11.21 සහ 2023.01.11 දිනයන්වලදී බදුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. මෙම පහල වීදිය සංවර්ධනය කටයුතු සිදු කරනු ලැබුවේ බදුල්ල චෙන්කලාඩි මාර්ගය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය තුලිනුයි. එම නිසා මෙම අවහිරවී ඇති ජලෝත්ගමන පද්ධතිය පිළිබදව විස්තර ඉල්ලා ව්‍යාපෘති නිළධාරී වෙත 2023.05.19 දින මා ලිපියක් මගින් දැනුවත් කලා. තවද පසුව ඒ පිළිබදව පසු විපරමක්ද සිදුකලා. නමුත් නිශ්චිතවම එම ස්ථානය තවමත් හදුනාගෙන නැහැ. අදාල ආයතන සමගින් එකතුවී හැකි ඉක්මනින් එම ස්ථානය හදුනාගෙන කටයුතු කිරීමට පියවර ගන්නවා යනුවෙන් පැවසීය.

මීට අමතරව ඇති ජලොත්ගමන පද්ධති 5න් පද්ධතීන් 4ක් අක්‍රීයව පැවතීම සම්බන්ධව වසර ගණනාවක් පුරාවට බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ද කථා බහට ලක්ව ඇති බවයි වාර්ථාවන්නේ. 

එමෙන්ම  පොලොවෙන් යටට වන්නට ඇති මෙම පද්ධතීන් තුලින් ජලය ලබා ගැනීමේදී කාලය ගතවීමක් සිදුවන බවත් එය ගින්නක් පාලනය කිරීමට දැඩි බාධාවක් බවද අඩුම තරමින් මෙම පද්ධතීන් පොලොව මට්ටමට හෝ රැගෙන දිය හැකිනම් එය වඩාත් නිවැරදි බවයි ගිනි නිවීම් ඒකකයේ නිළධාරියා සදහන් කලේ.

එවැනි පහසුකම් දිය හැකිදැයි අප තොරතුරු නිළදාරියාගෙන් විමසා සිටි අතර,

එවන් ජලොත්ගමන පද්ධතිය පොලොව මට්ටමට හෝ ගෙන ඒමට වැඩභාර නිළධාරී මට්ටමින් සිදුකල නොහැකි බවත් ඒ සදහා නවීන ජලොත්ගමන උපකරන යොදා සැකසිය යුතු බවට ජල සම්පාදන මණ්ඩලයේ තොරතරු නිළධාරියා සදහන් කර සිටී.

කෙසේ වෙතත් වරිපනම් බදු මෙන්ම කඩ කුලී ගෙවමින් ජීවත්වන බදුල්ල නගරයේ ජනතාවගේ ව්‍යාපාරික ස්ථානයක් යම් හදිසි ගිනි ගැනීමක් සිදුවන්නේ නම් එය වහා මැඩපැවැත්වීම අප සතු වගකීමක් බවයි බදුල්ල මහ නගර සභාවේ ‍නාගරික කොමසාරිස් ජගත් ප්‍රියශාන්ත මහතා සදහන් කලේ. එමෙන්ම මේ වන විට අඩාලව ඇති ජලෝත්ගමන පද්ධතීන් සැකසීමට අදාලව ආයතන මට්ටමින් කඩිනම් පියවර ගැනීමට කටයුතු කරනා බවත් කොමසාරිස්වරයා වැඩි දුරටත් සදහන් කලේය.

ගින්නක් නිවීම යනු පහසු කාර්යයක් නොවෙයි. එය ඉතා අවධානම් සහිත කටයුත්තක්. එවන් අවධානම් තත්වයක් තුලදී ගිනි නිවීම් බටයින් සදහා අවශ්‍ය ජලය ලබා ගැනීමේ පහසුකම් සැපයීම තුලින් විය හැකි දැඩි අවධානම වලක්වාගත හැකියි. ඒ සදහා විධිමත්වූ ක්‍රියාදාමයක් ඇතිකිරීම කල යුතු බවයි බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමණාකාරන ඒකකයේ සහකාර අධ්‍යක්ෂ ඊ.එම්.එල්. උදයකුමාර මහතා සදහන් කලේ. 

බදුල්ල නගරයේ සිදුවන්නාවූ කිසියම් ගිනි ගැනීමකදී කෙසේ හෝ එම ගින්න මැඩ පැවැත්වීමට ගිනි නිවීම් ඒකකයේ නිළදාරීන් කටයුතු කරනු දක්නට ලැබෙන නමුත් ඒ සදහා ඇති යටිතල පහසුකම් පිළිබදව ජනතාව දැනුවත් නොවන පසුබිමක මෙවන් තොරතුරු හෙලිදරව් කරමින් අදාල බළධාරීන්ගේ ඇස් ඇරීමට කටයුතු කිරීම වටිනා දෙයක් බවයි බදුල්ල නගරයේ වෙළධ සංගමයක නිළදාරියෙක් අදහස් දක්වමින් ප්‍රකාශ කලේ. 

කෙසේ වෙතත් වසර ගනනාවක් එහාට මෙහාට බෝල පාස්කරමින් ගෙවූ කාලය නිමාවට පත්කරමින් මෙම ජලෝත්ගමන පද්ධතිය නිසි ආකාරයෙන් සැකසීමට කටයුතු සිදුකල යුතුව ඇත. එසේ නොවූනෝතින් බදුල්ල නගරයේ බදු ගෙවනා ජනතාව ආයතන වලට එරෙහිව පියවර ගන්නා දවස වැඩි ඈතක් නොවනු ඇත.

සටහන – ජයලත් දිසානායක


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *