රට පුරා ජාතික පාසල් දහසක් (1000) ආරම්භ කිරීම සදහා රජය විසින් ආරම්භ කරන ලද වැඩ සටහන “ලත් තැනම ලොප් වී” රුපියල් මිලියන 2285 ක මුදලක් නිශ්කාර්ය ලෙස වියදම් කර ඇති බව රජයේ විගණන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති නවතම වාර්තාවක සදහන් වේ.
මෙරට පාසල් වර්ග දෙකක් ඇත.ඉන් එකක් වන්නේ ජාතික පාසල්ය.අනෙක් පාසල් වර්ගය ඇතුළත් වන්නේ පළාත් සභාවටය.ජාතික පාසල් මධ්‍යම රජයේ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පාලනය කරන අතර,සෙසු පාසල් පාලනය කරණු ලබන්නේ ඒ ඒ පළාත් වල අධ්‍යාපන අමාත්‍යාංශ විසිනි.
2022 වසර වන විට මෙරට තිබූ ජාතික පාසල් ප්‍රමාණය 353 කි.එය මෙරට සමස්ථ පාසල් ප්‍රමාණයෙන් 3.6% කි.මෙම ප්‍රමාණයට තවත් පාසල් 647 ක් එක් කර දිවයින පුරාම ජාතික පාසල් 1000 ක් බිහි කිරීම ආරම්භ කරන ලද්දේ 2022 ජනවාරි මස 08 වැනි දිනය.ඒ හිටපු ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මහතා විසින් මොනරාගල – සියඹලාණ්ඩුව මහා විද්‍යාලය ජාතික පාසලක් ලෙස නම් කරමිනි.
අනතුරුව දිවයිනේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම ජාතික පාසල් 03 ක් ස්ථාපනය කිරීමේ කටයුතු ආරම්භ කරන ලදි.
එතෙක් මහා විද්‍යාල ලෙස පැවති සෙසු පාසල් 647 ක් සදහා රජය විසින් රුපියල් මිලියන 02 බැගින් වෙන් කරන ලදි. ඒ විද්‍යාලයේ නාම පුවරුව, සිහිවටන පුවරුව සහ ගේට්ටුව සකස් කිරීම සදහාය.ඒ අනුව මෙම පාසල් වල අන්තර් ජාල පහසුකම් සංවර්ධනය කිරීම සදහා රුපියල් මිලියන 576 ක් වැය කර ඇත.ඒ අධ්‍යාපන, ප්‍රතිසංස්කරණ,විවෘත විශ්ව විද්‍යාල සහ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය විසිනි.කාන්තා සහ ළමා සංවර්ධන,පෙර පාසල් සහ ප්‍රාථමික අධ්‍යාපන පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශය විසින් රුපියල් මිලියන 02 බැගින් පාසල් 822 ක් සදහා ලබා දී ඇත.තවත් පාසල් 09 ක භෞතික සහ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සදහා රුපියල් මිලියන 44.7 ක්ද,උපකරණ මිලදී ගැනීම සදහා රුපියල් මිලියන 20.5 ක් වැය කර ඇති බව රජයේ විගනකාධිපතිවරයා විසින් නිකුත් කර ඇති වාර්තාවේ සදහන් වේ.
රජය විසින් ආරම්භ කරන ලද ජාතික පාසල් ව්‍යාපෘතියට සිදුවී ඇත්තේ කුමක්ද යන්න සම්බන්ධයෙන් මෙම ලියුම් කරු ඉකුත් අප්‍රියල් මාසයේදී තොරතුරු දැන ගැනීමේ පනත අනුව අධ්‍යාපන අමාත්‍යාංශයට අයදුම්පතක් යොමු කරන ලදි. එම අයදුම්පතට පිළිතුරු ලබා දී අධ්‍යපන අමාත්‍යාංශයේ තොරතුරු නිලධාරීවරයා පවසා ඇත්තේ මේ වන විට රට පුරා විවෘත කර ඇත්තේ නව ජාතික පාසල් 23 ක් පමණක් බවය.එම පාසල් බොහෝමයක් විවෘත කර ඇත්තේ ඒ ඒ ප්‍රදේශ වල ප්‍රාදේශීය දේශපාලකයින්ගේ ප්‍රධානත්වයෙනි.ඒ අනුව ගල්කිස්ස විද්‍යා විද්‍යාලය,කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර විද්‍යාලය,දොම්පේ දේවි බාලිකා මහා විද්‍යාලය,වාද්දුව මධ්‍ය මහා විද්‍යාලය,කොල්වින් ආර් ද සිල්වා මහ විද්‍යාලය,රාජසිංහ මහා විද්‍යාලය,හැටන් ශාන්ත ශ්‍රේබ්රියල් විදුහල,වලහන්දූව ජනාධිපති බාලිකා විද්‍යාලය,පුහුල්වේල්ල මධ්‍ය මහා විද්‍යාලය,පුවක්දන්ඩ දම්මපාල බාලිකා විද්‍යාලය,පේදුරුතුඩුව මෙතෝදිස්ත උසස් බාලිකා විද්‍යාලය, පලාලි මධ්‍ය විද්‍යාලය,කල්මුණේ මුහම්මද් බාලිකා විද්‍යාලය,මහදිවුල්වැව මහා විද්‍යාලය,උහුමීය ඩී එස් සේනානායක මහා විද්‍යාලය, ලුණුවිල බෞද්ධ කාන්තා විද්‍යාලය,තඹුත්තේගම මහා විද්‍යාලය,කැකිරාව විද්‍යාරත්න විද්‍යාලය, සියඹලාන්ඩුව මහා විද්‍යාලය, බිබිල යශෝධරා බාලිකා විද්‍යාලය,කුරුවිට මධ්‍ය මහා විද්‍යාලය, ශාන්ත ජොන් දෙමළ විද්‍යාලය සහ කෑගල්ල ස්වර්ණ ජයන්ති මහ විද්‍යාලය නව ජාතික පාසල් පද්ධිතයට අයත් වී ඇති බවද අධ්‍යාපන අමාත්‍යාංශයේ තොරතුරු නිලධාරීවරයා විසින් එවා ඇති පිළිතුරු ලිපියේ සදහන් වේ.
නමුත් ඉතිරි පාසල් 650 සම්බන්ධයෙන් හෝ එම පාසල් වලට වෙන් කර දැනට වැය කර ඇති මුදල සම්බන්ධයෙන් එම පිළිතුරු ලිපියේ කිසිවක් සදහන් වී නැත.
ජාතික පාසලක් නම් කරණු ලබන්නේ කිසියම් නිර්ණායක මාලාවක් සපුරා ලීමෙන් අනතුරුවය.මන්ද එම පාසල් වලට විදුහල්පතිවරුන් පත් කිරීම,ගුරු පුරප්පාඩු පිරවීම පමණක් නොව යටිතල පහසුකම් නංවාලීමද එතැන් සිට සිදු කළ යුත්තේ මධ්‍යම රජයේ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් වන බැවිනි.
රට පුරා ජාතික පාසල් 1000 ක් ස්ථාපනය වූ විට බොහෝ ගුරුවන්ගේ ගැටළු වලින් බහුතරයකට විසදුම් ලැබෙන බවට විශ්වාසයක් තිබුණි.ඒ මන්ද යත්, එතෙක් පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ වලින් කර ගැනීමට නොහැකි වූ කටයුතු සෘජුවම අධ්‍යාපන අමාත්‍යාංශයට සම්බන්ධ වීමෙන් කර ගත හැකි වන නිසාය. තවද බොහෝ ගම්බද ප්‍රදේශ වල දරුවන්ට ජාතික පාසලක් යනු සිහිනයක් බවට පත් වී තිබූ යුගය නිමාවන බැවිනි.නගරයට පමණක් සීමා වී තිබූ ජාතික පාසල් ගමට ලැබීම භාග්‍යයක් කොට අහිංසක ගමේ දරුවන් සිතා සිටියේය. නමුත් ඒ දරුවන්ගේත්,ගුරුවරුන්ගේ සිහිනය බොද වී යන්නේ නැවත ජාතික පාසල් බිහි නොකරන බවට වත්මන් අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත මහතා කර ඇති ප්‍රකාශයක් හේතුවෙනි.
“ජාතික පාසල් 1000ක් රට පුරා ස්ථානය කිරීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සුදානම් වුනා. නමුත් එය ප්‍රායෝගික ක්‍රියාවක් නොවේ.පළාත් සභා වලට අයත්ව තිබූ පාසල් යම් ප්‍රමාණයක් ජාතික පාසල් බවට පත් කළ විට ඒවා පාලනය කිරීමට සිදු වන්නේ මධ්‍යම රජයේ අධ්‍යාපන අමාත්‍යාංශටයි.එය ඉතාමත්ම දුෂ්කර කටයුත්තක්. ජාතික පාසල් වශයෙන් නම් කිරීමට යෝජනා වී තිබූ පාසල් වලට රුපියල් මිලියන 02 බැගින් රජය විසින් ලබා දුන්නා.ඒ පාසල් වල නාම පුවරු, සිහිවනට පුවරු, ගේට්ටු වාගේ දේවල් හදන්න.ඒ මුදල් මේ වන විට වැය කරලා අවසන්.පාසල් දියුණු කිරීමේදී ඒවා ජාතික පාසල්ද,නැත්නම් පළාත් පාසල්ද කියලා බලන්න හොද නෑ.කළ යුත්තේ පාසල දියුණු කරන එක පමණයි.නමුත් මුදල් නැත්නම් ඔය කිසිම දෙයක් කරන්න බැහැනේ.බෝඩ් එක විතරක් ගැහුවාට ජාතික පාසල් බිහි වන්නේ නෑ. මේ වැඩේ පාසල් පරිපාලනය පිළිබදව අවබෝධයෙන් කරපු වැඩක් කියලා මම නම් හිතන්නේ නෑ.”
අධ්‍යාපන ඇමතිවරයාගේ ප්‍රකාශය අනුව හැගී යන්නේ නැවත අපේ රට තුළ ජාතික පාසල් බිහි වන්නේ නැති බවකි . කෙසේ වෙතත් සුසිල් ප්‍රේමජයන්ත යනු 2020 මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරග වැදී පාර්ලිමේන්තු පැමිණ 2020. 08.26 දා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ , විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයාය . ඒ මොහොතේ අධ්‍යාපන ඇමති වත්මන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ය .
සටහන – ජූඩ් සමන්ත
Leave a Reply