‘ලෝක තෙත් බිම්’ සැමරුම වෙනුවෙන් 2021 පෙබරවාරි මස 02 වැනිදා පැවති ජාතික උත්සවය වන ජීවී දෙපාර්තමේන්තුව විසින් පවත්වන ලද්දේ ආරච්චිකට්ටුව – ආනවිළුන්දාවේ පිහිටි ‘රැම්සා අභය’ භූමිය කේන්ද්‍ර කර ගනිමිනි. මෙම උත්සවය සදහා වන ජීවී දෙපාර්තමේන්තුව රුපියල් 8,88,810 ක මුදලක්ද වියදම් කර ඇත.ඒ අතරින් වැඩිම මුදලක් වන රුපියල් 1,48,060 ක මුදලක් වැය කර ඇත්තේ උත්සව භූමිය සකස් කිරීම සදහා සහ අවශ්‍ය උපකරණ මිලදී ගැනීම සදහාය.
ලෝක තෙත් බිම් ජාතික උත්සවය ආරච්චිකට්ටුව ආනවිළුන්දාව රැම්සා අභය භූමිය කේන්ද්‍ර කරගෙන පැවැත්වීමට වන ජීවී දෙපාර්තමේන්තුව 2021 වසරේදී කටයුතු කිරීම විශේෂත්වයකි.එහි පසුබිම් කථාව මෙසේය.
2020 වසරේදී ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා ඇතුළු කණ්ඩායමක් ආනවිළුන්දාව රැම්සා අභය භූමිය තුළ ඉස්සන් ව්‍යාපාරයක් ආරම්භ කිරීම සදහා අවශ්‍ය කටයුතු සුදානම් කරමින් සිටින විට අත්අඩංගුවට පත් විය.ඒ වන ජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේය.
අතීතයේදී ඉස්සන් කොටු පවත්වා ගෙන ගිය භූමියක් පසු කාලෙක රැම්සා අභය භූමිය බවට පත් විය.මේ නිසා එම ප්‍රදේශයේ තිබූ ඉස්සන් ව්‍යාපාර බොහෝමයක් අතහැර දමන ලදි.නමුත් කිසියම් පිරිසක් තම දේශපාලන සවි ශක්තිය මුල් කරගෙන එම භූමිය තුළ ඉස්සන් ව්‍යාපාරය දිගටම කරගෙන ගියේය.ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඉස්සන් කොටුවක් සදහා භූමිය සකස් කරමින් සිටින විට වන ජීවී නිලධාරීන්ට කොටු වන්නේ එවන් පසුබිමක් තුලය.
වන ජීවී දෙපාර්තමේන්තුවට අයත් නිදහස් භූමියක් තුළ විශාල යන්ත්‍ර – සුත්‍ර යොදා ගෙන ඉස්සන් කොටු සදහා භූමිය සකස් කරන තුරු නිලධාරීන් සිටියේ දෑස් වසා ගෙනද යන්න එදා මාධ්‍යවේදීන් ප්‍රශ්ණ කර සිටියේය.පිළිතුරු නොමැති තැන සිදුවන විනාශය මාධ්‍යවේදීන් රට හමුවේ සියළු දෑ සාක්ෂි සහිතව හෙලි කළ විට ‘තවත් බලා ගෙන සිටීම සුදුසු නොවන’ බව තේරුම් ගත් වන ජීවී නිලධාරීන් ඉස්සන් කොටු සකස් කරමින් සිටි පිරිස අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලදි.
එම සිද්ධියෙන් තමන්ට ඇතිවූ කැළල වසා ගැනීමට සුදුසුම අවස්ථාව සොයමින් සිටි වන ජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට 2021 ලෝක තෙත් බිම් දිනය ආශීර්වාදයක් විය.මෙම වැඩ සටහන සංවිධානය වන්නේ ඒ අනුවය.
‘රැම්සා’ අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති ආනවිළුන්දාව අභය භූමිය තුළ ඇති අතහැර දමන ලද ඉස්සන් කොටු ආශ්‍රිතව කඩොලාන පැල රෝපනය කිරීම මෙම ජාතික උත්සවයේ ප්‍රධාන අරමුණ වී තිබුණි.ඒ අනුව ඊට සාපේක්ෂව තරග කීපයක්ද සංවිධානය කරන ලද අතර ඉන් ජයග්‍රහරණය කළ අයට ත්‍යාග ප්‍රධානය කිරීමද උත්සවයේදී සිදු කරන ලදි.මෙම අවස්ථාවට පරිසර රාජ්‍ය ඇමතිවරයා ඇතුළු දේශපාලන කාරකාදීන් විශාල පිරිසක්ද සහභාගි විය.
එදා ලොවටම අඩ බෙර ගසා රෝපනය කරන ලද කඩොලාන පැල අතරින් වර්තමානයේ ඉතිරිවී ඇත්තේ කීපයක් පමණක් බව අප විසින් කරන ලද සොයා බැලීමකදී අනාවරණය විය.
2021 වසරේ පැවති ලෝක තෙත් බිම් ජාතික වැඩ සටහන ඉතාමත්ම සාර්ථක එකක් බව ඒ සම්බන්ධයෙන් මෙම ලියුම්කරු විසින් වන ජීවී දෙපාර්තමේන්තුවෙන් තොරතුරු දැන ගැනීමේ පනතට අනුව කරන කරන ලද විමසීමකදී ඔවුන් පවසා ඇත.වන ජීවී දෙපාර්තමේන්තුවේ තොරතුරු නිලධාරී සහ අධ්‍යක්ෂක (රක්ෂිත ප්‍රදේශ කළමනාකරණ) මංජුල අමරරත්න මහතා විසින් ඔහුගේ වජි/6/1/2/769-iv යටතේ 2024 ජනවාරි මස 09 වැනිදා එවා ඇති පිළිතුරු ලිපියේ ඒ බව සදහන් වී ඇත.එම පිළිතුරු ලිපියට අනුව කඩොලාන ප්‍රතිෂ්ඨාපන වැඩ සටහන විද්‍යාත්මකව සිදු කර ඇත.ඒ බව දේශීයව හා විදේශීයවද පිළිගෙන ඇත.දෙස් විදෙස් විශ්ව විද්‍යාල වල සිසු සිසුවියන්ද එම භූමියට පැමිණ කඩොලාන පිළිබදව විවිධ පර්යේෂණ සිදු කරති.
නමුත් අප විසින් කරණ ලද සොයා බැලීමකදී 2021 පෙබරවාරි මස 02 වැනිදා රෝපනය කරන ලද කඩොලාන පැල අතරින් ඉතිරිව ඇත්තේ ඉතාමත්ම අල්පයකි.එම වැඩ සටහනේදී රෝපණය කිරීම සදහා යැයි උත්සව භූමියට ගෙනවිත් තිබූ කඩොලාන පැල විශාල ප්‍රමාණයක්ද ප්‍රයෝජනයට නොගැනීම නිසා වියලී මිය ගොස් ඇත්තේ අති විශාල මහජන මුදලක් කාබාසිනියා කරමිනි.
ඉස්සන් කොටු පවත්වා ගෙන ගිය භූමියේ කිසිදු පෙර සකස් කිරීමකින් තොරව කඩොලාන පැල රෝපනය කිරීම එම තත්ත්වයට හේතුව වී ඇති බව අනුමාන කළ හැක.
ලෝක තෙත් බිම් වැඩ සටහන ජාතික වශයෙන් පසුගිය දිනකද සමරණ ලදි.ඒ සදහාද විශාල මුදලක් වැය කරන්නට ඇති.නමුත් මේ ආකාරයට මුදල් විනාශ කිරීම සදහා පමණක් ‘ජාතික’ යැයි කියා ගන්නා වැඩ සටහන් සංවිධානය කර පැවැත්වීම කෙතරම් උචිතද යන්න සොයා බැලීම වටින්නේය.
සටහන – ජූඩ් සමන්ත






Leave a Reply