Loading...

මරණයට අත වනන ආනවිළුන්දාව අභය භූමිය

ආනවිළුන්දාව රැම්සා අභය භූමිය තුළ පිහිටි වැව් පද්ධතියේ තිබෙන පැරණි ‘රූස්ස’ ගස් මිය යාමට පටන් ගෙන ඇත. නමුත් සිදුවෙමින් පවතින්නේ කුමක්ද යන්න සොයා බැලීමට වගකිව යුතු කිසිවෙකුත් මේ වන තුරු ඉදිරිපත් වී නොමැති වීම කනගාටුවට කරුණක් වී ඇත.

හෙක්ටයාර් 1397 ක විශාලත්වයක් ඇති ආනවිළුන්දාව රැම්සා අභය භූමිය තුළ වැව් පහක් පිහිටා ඇත.ආනවිළුන්දාව,සුරුවිල,පිංකට්ටිය,මරදන්සෝල සහ වෙල්ලවාලි එම වැව් පද්ධතිය වේ.මෙම වැව් පද්ධතිය පෝෂණය වන්නේ රතඹලාඔයෙනි.

මෙම වැව් පද්ධතිය තුළ වසර ගනන් පැරණි විවිධ වර්ග වලට අයත් රූස්ස ගස් රැසක් දක්නට ඇත.නමුත් මෑතක සිට වැව් පද්ධතීන් තුළ ඇති එම ගස් ක්‍රමයෙන් මිය යන්නට පටන් ගෙන ඇත.

ආනවිළුන්දාව රැම්සා කුරුළු අභය භූමිය යනු මෙරට පිහිටි දෙවැනි තෙත් බිම වන්නේය. සෑම වසරකම අග භාගයේදී මෙම රැම්සා අභය භූමියට විදේශීය සංචාරකයින් විශාල පිරිසක් පැමිනෙන්නේය.එසේ පැමිනෙන සංචාරක පක්ෂීන් මාස කීපයක් අභය භූමිය තුළ ගත කරති.එම කාලයේ බොහෝ පක්ෂීන් තම ප්‍රජනන කටයුතු සිදු කරන අතර,ඔවුන් ආපසු ගම් බිම් බලා පියාසර කරන්නේ අනවිළුන්දාව අභය භූමියේදී ඡන්ම ලාභය ලද තම දරුවන්ද කැටුවය.

මාස කීපයක් ආනවිළුන්දාව ආශ්‍රිතව ගත කරන පක්ෂීන් බොහෝ දෙනෙකුගේ වාසස්ථන වන්නේ පෙර සදහන් කර ඇති වැව් පද්ධීන් තුළ ඇති විශාල ප්‍රමාණයේ රැක්ෂයන්ය.බොහෝ රැක්ෂයන් තුළ සංචාරක පක්ෂීන් තම බිත්තර දැමීමට සහ පැටවුන් සදහා කූඩු සාදා ඇති ආකාරයක්ද පසුගිය කාලයේ දක්නට තිබුණි.

“ආනවිළුන්දාව වැව් පන්තියේ ඇති ගස් පෙර සදහන් කර ඇති ආකාරයට මිය යාම නිසා මෙරටට පැමිනෙන සංචාරක පක්ෂීන්ට අනාගතයේදී වාස භූමි අහිමි වීමටද ඉඩ ඇත.මන්ද සරුවට වැවී ඇති එම ගස් වල අතු රිකිලි මත දිවා කාලයේදී අවි රශ්මියෙන් බේරීම සදහා කුරුල්ලන් රැදී සිටිනවා පසුගිය කාලයේදී අපට දක්නට තිබූ නිසාය.නමුත් වර්තමානය වන විට එම ගස් මිය යාමට පටන් ගෙන තිබීම හේතුවෙන් පක්ෂීන්ට දිවා කාලය ගත කරන්නට තැනක් නොමැති වන තත්ත්වයක් ඇති වී තිබෙන බවක්ද දක්නට ඇත.

ආනවිළුන්දාවට පෙර කාලයේ  පෝෂණය වුනේ රතඹලාඔයෙන්.මෙම වැව් පද්ධතිය එකට එකක් සම්බන්ධයි.ඒ කියන්නේ එල්ලංගා පද්ධතියට අනුව තමයි වැව් හදලා තියෙන්නේ.ආනවිළුන්දාව වැව ජලයෙන් පිරී ගොස් පිටාර ගැළු විට ඒ ජලය ගලා යන්නේ පහළින් ඇති සුරුවිල වැවටයි.මේ ආකාරයෙන් ඉහළින් තිබෙන වැවේ වැඩි ජලයෙන් තමයි පහළින් ඇති වැව් පිරී යන්නේ”. පරිසරවේදියෙකු මෙන්ම නිදහස් මාධ්‍යවේදියෙකු වන ධර්මවංශ පීරිස් මහතා අප සමග මේ සම්බන්ධයෙන් කථා බහ කළේය.

ධර්මවංශ පීරිස් මහතාට අනුව “ආනවිළුන්දාව වැව් පද්ධතිය පෝෂණය කළ රතඹලාඔය දිගේ වසරේ සෑම දිනකම ජලය ගලා ගොස් නැත.මේ නිසා කාලයකදී පෙර සදහන් වැව් පද්ධතියට ජලය ලැබෙන්නේ නැත.ඒ කාලයේදී වැව් සියල්ල සිදී යයි.නැවතත් වැසි ඇද වැටී රතඹලාඔය ශක්තිමත් වූ විට වැව් සියල්ල ජලයෙන් පිරී යන්නේය.නමුත් දැදුරුඔය හරස් කර සෙංගල්ඔය අමුණ බැදීමත් සමග රතඹලාඔය දිගේ වසරේ සෑම දිනකම ජලය ගලා එන්නේය.ඒ නිසා පෙර සදහන් කර ඇති වැව් වසර කීපයකින් සිදී ගොස් නැත”.

වැව් තුළ ඇති ගස් මිය යාමට ප්‍රධානතම හේතුව මෙය විය හැකි බවයි ධර්මවංශ පීරිස් මහතාගේ අදහස වී ඇත්තේ.

සෙංගල්ඔය ව්‍යාපාරය ආරම්භ කිරීමේ ප්‍රධානතම හේතුව වූයේ රතඹලාඔයෙන් පෝෂණය වන වැව් පද්ධතියට ජලය ලබා ගැනීමය.ලැබෙන ජලයෙන් වැව් පුරවා සියළුම කුඹුරු යල – මහ කන්න දෙකම ගැටළුවක් තොරව වගා කිරීම එහි ප්‍රධානතම අරමුණ වී තිබුණි.එකී අරමුණ මේ වන විට සාක්ෂාත් වී ඇති  බවට විවාදයක් නැත.මන්ද පසුගිය කාලයේ ප්‍රමාණවත් තරම් ජලය නොමැති වීම හේතුවෙන් මෙකී කුඹුරු වරින් වර විනාශ වී ගියත් එවන් ආපදාවක් මෑතකදී අසන්නට නොලැබුණු නිසාවෙනි.ඒ වසරේ සෑම දිනකම මෙම වැව් පද්ධතීන් ජලයෙන් පිරී පවතින නිසාය.

එසේ නම් සෙංගල්ඔය ව්‍යාපාරය ආරම්භ කිරීමට පෙර කිසියම් ශක්‍යතා අධ්‍යයනයක් රැම්සා අභය භූමිය සම්බන්ධයෙන් සිදු කර නොතිබුනේද යන්න ගැටළුවකි.එවන් අධ්‍යයනයක් සිදු කර තිබුණා නම් වර්තමානයේ පවතින තත්ත්වය සිදු නොවන්නට ඉඩ තිබුණු බවට අනුමාන කළ හැකි නිසාවෙනි.

කෙසේ වෙතත් ආනවිළුන්දාව වැව් පද්ධතියේ ඇති ගස් මිය යාමට හේතුව නිශ්චිත වශයෙන්ම මෙතෙක් හදුනා ගෙන නොමැති නම් අඩුම තරමින් ධර්මවංශ පීරිස් මහතාගේ අදහස ඔස්සේ හෝ ගොස් පරීක්ෂණයක් සිදු කිරීම වගකිව යුතු අංශ වල යුතුකම වන්නේය.එසේ නොවන්නේ නම් අනාගතයේ දවසක සංචාරක පක්ෂීන්ගෙන් තොර රැම්සා අභය භූමියක් පමණක් අපට ඉතිරි වේවිද යන්න සැක සහිතය.

සටහන – ජූඩ් සමන්ත

ජුඩ් සමන්ත


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *