ක්‍රි. ව. 4 වන සියවසේ අනුරාධපුර යුගයේ රජ කළ කීර්ති ශ්‍රී මේඝවර්ණ රජුට අයත් තෝනිගල සෙල්ලිපිය බොහෝ විද්වතුන්ගේ පිළිගැනීමක් වන්නේ ශ්‍රී ලංකාවේ පැවැති පැරැණිතම බැංකු ක්‍රමය පිළිබඳ වූ පූර්ණතම ලේඛනය මෙම සෙල්ලිපිය බවටය. ශ්‍රී ලංකාවේ මුල් කාලීන ආර්ථික පසුබිම පෝෂණය කළ බැංකු ක්‍රමය පිළිබඳවත් තත්කාලීන සමාජයේ පැවැති දේශපාලනික ආගමික හා සාමාජික පසුබිම පිළිබඳව තෝනිගල සෙල් ලිපිය මගින් පෙන්වා දෙයි.
එතරම් වූ ඓතිහාසික වටිනාකමක් ඇති තෝනිගල සෙල්ලිපිය අනුරාධපුර යුගයේ සිට මේ දක්වා පැවති ගමනේදී වසර තිහක් පුරාවට පැවැති යුදමය වාතාවරණය හමුවේ විවිධ වූ හානි සිදුවීමත් පසුවවූ පාරසරික වෙනස්වීම් හමුවේ වූ වෙනස්වීම්ද සමගින් යුද්ධය අවසන් වී ගිය වසර 15 ක් ගෙවී ගියද මෙම තෝනිගල සෙල්ලිපියෙහි ආරක්ෂාව උදෙසා මේ වනතුරුත් කිසිදු ආරක්‍ෂිත පියවරක් ගෙන නොතිබීම මෙරට ඓතිහාසික සිදුවීම් රැසක් ඇති අතීතය වැළලී යාම අප සියලු දෙනාගේම අභාග්‍යකි. මෙම සෙල්ලිපියෙහි සඳහන් බොද්ධ සිද්ධස්ථානයක් වන මඩුකන්ද ශ්‍රී දළදා විහාරස්ථානයට ඉතා නුදුරින් පිහිටි මෙම තෝනිගල සෙල්ලිපිය පිළිබඳව එම විහාරස්ථානයේ වර්ථමාන විහාරාධිපති උතුරු නැගෙනහිර දෙපළාතේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය මුවඇටගම ආනන්ද හිමියන් මේ පිළිබඳව පවසා සිටින්නේ මෙවැන්නක්.
“තෝනිගල ශිලා ලේඛනය ගැන සඳහන් කරන කොට මේ අවුරුද්දේ මුල තමයි අපි ඕක සුද්ද පවිත්‍ර කළේ. හේතුව අලි ඇවිල්ලා පාගන නිසා අපි කරපු වැඩේ මේ සිලා ලේඛනය වටේටට අකුරු පේන්නැති වෙන්ඩ උඩින් වැලි දාලා රැකවරණයක් යොදාලා තමයි තිබුනේ මේ මෑතකාලීන පුරාවිද්‍යාවෙන්ම ගිහිල්ලා ඒවා නැවත අකුරු පාදලා දැන් තියෙනවා. නමුත් ඒකට කිසිදු රැකවර්ණයක් නෑ මාර්ගයක් හරියට නිකං කැලේ යන්න තියෙන්නේ ඒ පාරත් හරියටම පිළිවෙලක් නෑ. ඊළඟට මේ අක්ෂර කලාව තියෙන අකුරු ටිකටත් රැකවරණ මොකුත්ම නෑ අව්වට වේලෙනව වැස්සට තෙමෙනවා ඒ විදිහට තමයි පවතින්නේ. මුර කපොල්ලක් නම් දාලා තියෙනවා දැනට අපේ සිවිල් ආරක්ෂ බලකායෙන් එතන ආරක්ෂා කරන්න දාලා තියෙනවා නමුත් අකුරු පවත්වාගෙන යන්න වැඩපිළිවලක් නෑ. පුරාවිද්‍යාව මඟින් මේකටත් හොඳ වැඩපිළිවෙළක් ගත්තොත් හරි වටිනවා. උතුරු පලාතේ අදටත් බොහෝම වැදගත් තොරතුරු නෂ්ඨාවශේෂ බවට පත්වෙලා කිසිම රැකවරණයකුත් නැතුව ඒවා රජයෙන් පුරාවිද්‍යාවෙන් කැණීම් කරලා සකස් කරලා ආරක්ෂා කරන වැඩපිළිවෙලෙකුත් තාමත් නැතිව තියෙන යුගයක් තමයි අද මේ කාලය. ඒ වගේම මේ සෙල්ලිපය බලන්ඩ නිතර දෙවේලේ මේ පිළිබඳව දන්න අය උදවිය එනවා. විශේෂයෙන්ම මෑත කාලීනව විදේශ සංචාරකයෝ වගයක් ඇවිල්ලා බැලුවා ඒ නිසා මේ අයට ඒ අකුරු දැක ගන්ඩ අවස්ථාව සලසා දෙන එක හරි වටිනවා. ඒ නිසා අකුරු රැක ගන්න ඕන ඒ අකුරු ආරක්ෂා කරන්න ඕන ඒකට පිළිවෙලක් නෑ. ඒ්ක අපේ වැඩකට ඒහා පුරාවිද්‍යාවේ වගකීමක් වනවා” යනුවෙනි.
මෙම සෙල් ලිපියේ ප්‍රධාන වශයෙන් අන්තර්ගත වී ඇත්තේ දෙවනැමැත්තකු විසින් යහිස පර්වත විහාරයෙහි වැඩවසමින් සිටින ආර්යවංවංශ පූජා පවත්වන භික්‍ෂූන්ගේ ප්‍රත්‍ය පහසුකම් සැලසීම සඳහා කළහමනක නම් ආර්ථික මධ්‍යස්ථානයේ වී,මුං, උඳු ආදිය තැන්පත් කොට එහි පොලිය සංඝයාට ලැබෙන සේ සම්පාදනය කොට තිබීම මෙහි ප්‍රමුඛතම සඳහනයි. ඊට අමතරව ලංකාවේ භාවිතාව වූ පැරැණි බැංකු ක්‍රම කෘෂිකාර්මික කටයුතු මිනුම් ක්‍රම මෙන්ම තත්කාලීන ආගමික ආර්ථික හා සාමාජික තත්ත්වය පිළිබඳව කරුණු මෙම සෙල් ලිපියෙහි අන්තර්ගතව පවතිනවා. ගනුදෙනු කරුවන්ගෙන් තැන්පතු ලබාගෙන එම තැන්පතු ආයෝජනය කරමින් ලාභ ලැබීමටත්,එම ලාභයෙන් කොටසක් තැන්පතුකරුවන්ට වාර්ෂික පොලිය වශයෙන් ලබාදීමටත් හැකි ලෙස ක්‍රියාත්මක වූ බැංකු ක්‍රමයක් ශ්‍රී ලංකාවේ තිබු බවට සාක්ෂි මෙම තෝණිගල සෙල්ලිපියේ සඳහන්ව පවතියි.
මෙම සෙල්ලිපියෙන් ක්‍රි.ව. 4 වන සිය වන විටත් ශ්‍රී ලංකාවේ බැංකු ක්‍රමයක් තිබූ බවට ඇඟවෙන බව කියවේ. එය නූතන මූල්‍ය ආයතන මෙන් ගනුදෙනු කරුවන්ගෙන් තැන්පතු ලබාගෙන එම තැන්පතු ආයෝජනය කරමින් ලාභ ලබන්නටත්,එම ලාභයෙන් කොටසක් තැන්පතුකරුවන්ට වාර්ෂික පොලිය වශයෙන් ලබා දෙන්නට ඇති බවටත් සාක්ෂි සපයයි.
සෙල්ලිපියට අනුව වර්ෂයකට කන්න තුනක් වී වපුරා ඇති අතර එනම් “පිට දඩහසහි අකල හසහි මදෙහසහි” යනුවෙන් එහි සඳහන්ය. සම්පූර්ණ වර්ෂයක අස්වැන්නේ ස්ථිර තැන්පතුවට ඒ ඒ ධාන්‍ය සඳහා උක්ත මූල්‍ය ආයතනය මඟින් ලබාදෙන ලද පොලිය මෙසේය.
- වී – පචවිසි අමුණක වී ඉච (තැන්පත් කළ අමුණු 50 ට පොලිය වශයෙන් අමුණු 25 ක් වී ලැබෙන්නේ නම් ප්‍රතිශතයක් වශයෙන් වාර්ෂික පොලී අනුපාතය 50% කි)
- උඳු – එක් අමුණු දෙපෙකඩක් (පොලිය අමුණු 1.5 ක් බව. පෙකඩ යනු අමුණෙන් 1/4 කි. ඒ අනුව දෙපෙකඩක් යනු අමුණෙන් 2/4 කි. ප්‍රතිශතයක් වශයෙන් වාර්ෂික පොලී අනුපාතය 25% කි)
- මුං – දෙඅමුණු දෙපෑකඩක් (පොලිය අමුණු 2.5 ක් බව. ප්‍රතිශතයක් වශයෙන් වාර්ෂික පොලී අනුපාතය 25% කි)
උක්ත තොරතුරුවලට අනුව මෙම ආයතනයේ ස්ථිර තැන්පතු වශයෙන් ධාන්‍ය තැන්පත් කරන ගනුදෙනුකරුවන්ට වසර අවසානයේ දී පොලිය වශයෙන් ධාන්‍ය ලබාදීමට නම් එම ආයතනය වාර්ෂිකව ඉපයීමක් කළ යුතුය. ඒ අනුව මෙම බැංකුව තමන් සතු ධාන්‍ය තැන්පතු ආයෝජනය කර ලාභ ඉපයීමක් කරන්නට ඇත.
සෙල්ලිපිය සහිත පුරාවිද්‍යා ස්ථානය වවුනියාව සහ අනුරාධපුර දිස්ත්‍රික් මායිමේ පිහිටා ඇති අතර, වවුනියාව නගරයේ සිට හොරොව්පොතාන දක්වා මාර්ගයේ කිලෝමීටර 09 පමණ දුරකින් වන කුඩාකච්චකොඩිය ගම්මානයේ පිහිටා ඇත.
යුද සමයේ බෝම්බ පතිත වෙතැයි බියෙන් වසර 25 ක් පමණ පස් තට්ටුවකින් තෝනිගල සෙල්ලිපිය වසා දමා තිබිණ. අනතුරුව වවුනියාව දිස්ත්‍රික් ලේකම් පි.ඒ.සරත්චන්ද්‍රගේ හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වවුනියාව කාර්යාල නිලධාරීන්ගේ මැදිහත්වීම යටතේ සෙල්ලිපිය වසා තිබු පස් තට්ටුව ඉවත් කොට විවෘත කිරීමෙන් අනතුරුව තෝනිගල සෙල්ලිපිය මහජන ප්‍රදර්ශනය වෙනුවෙන් වර්තමානයේ විවෘත කොට ඇත.
ගල් තලාවේ සෙල්ලිපි තුනක සාධක පවතින අතර, පුරාවිද්‍යා ස්මාරක හා ගල් පොකුණු දෙකක් අවට දැකගත හැකි බවට පුරාවිද්‍යාඥයින් පවසයි.
තෝණිගල සෙල්ලිපයේ ප්‍රධන වශයෙන් පේලී 17 ක් ඇති අතර ඉන් පේලි 12 ක් යහපත් තත්වයේ පවතින අතරම 05 ක් ඇත්තේ විනාශ මුඛයේය. මහජන ප්‍රදර්ශනයට විවෘත කොට ඇති මෙම සෙල්ලිපියේ ස්පර්ශ පිටපත් ලබා ගැනීම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අභිලේඛණ හා නාණකවිද්‍යා අංශයේ නිලධාරීන් විසින් පසුගිය කාලයේදී සිදුකෙරිණි.
ලොව පුරා සංචාරකයින් අදාළ ස්ථානය වෙත ගෙන්වා ගැනීමට කටයුතු කිරීම තුළින් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය උදෙසා ක්‍රියාමාර්ග ගැනීමට හැකියාවක් ඇත.
බැංකු ක්‍රමය,පොලී ක්‍රමය ගැන ලොව පැරණිම ලියවිල්ලක් වන මේ සෙල්ලිපිය සම්බන්ධයෙන් ලංකාවේ බැංකු ආයතන වැඩි අවධානයක් යොමුකර මේ සෙල්ලිපිය ආරක්ෂා කර ගත යුතුය.
මෙම සෙල්ලිපයෙන් කියවෙන අර්ථයන් හ අක්ෂර පිටපත් කරගත්තද එම සියල්ලකට වඩ වටිනකම ඇත්තේ මේ තෝණිගල පාෂාණයේය. එනම් මෙවැන්නක් තවත් වසර ගනණාවක පරම්පරාවට ඉතා වටින්නේය.
අව්වට වේලෙමින් වැස්සට තෙමෙමින් නොයෙකුත් වන සතුන්ගෙන් හානි වෙමින් පවතින තෝණිගල සෙල්ලිපය මතුපරපුරට වටින සම්පතක් වශයෙන් රැකගත යුතුමය. මෙය බලධාාරීන්ගේ මෙන්ම අප සියලු දෙනාගේද වගකීමක් හා යුතුකමක්ද වන්නෝය.
Leave a Reply